ග්ලේන් මැක්ස්වෙල්ගේ හා ෆෆ් ඩු ප්ලෙසිස්ගේ වේගවත් ඉනිම් හා හර්ෂාල් පටෙල්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ශක්තිමත් වූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 32 වැනි තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදා ලකුණු 7 ක ජයක් වාර්තා කිරීමට අද(23) සමත් වුණා.
බැංගලූරුහි M.Chinnaswamy ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 189 ක් ලබා ගත්තා.
ලකුණු 190 ක ඉලක්කයක් හඹා ගිය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 182 ක් පමණයි.
ජොස් බට්ලර් ඔහු මුහුණ දුන් දෙවැනි පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියා. ඔහුගේ ආරම්භක සගයා වූ යශස්වි ජයිස්වාල් ලකුණු 47 ක් පන්දු 37 කින් රැස් කළා.
පන්දු 34 කින් දෙව්දත් පඩික්කල් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 52 ක්. සංජු සැම්සන් ලකුණු 22 කට දැවී ගියා. Dhruv Jurel පන්දු 16 කින් නොදැවී ලකුණු 34 ක් රැස් කළ නමුත් තරගය ජය ගැනීම සදහා එය ප්‍රමාණවත් වූයේ නැහැ.
පන්දු යැවීමේ දී හර්ෂාල් පටෙල් ලකුණු 32 කට කඩුලු 3 ක් දවා ගත්තා. වනිදු හසරංග සිය පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන්ට ලකුණු 32 ක් පමණක් ලබා දුන් නමුත්, කිසිදු කඩුල්ලක් දවා ගැනීමට ඔහුට හැකි වූයේ නැහැ.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළ විරාත් කෝලි ලකුණු නොලබා තරගයේ පළමු පන්දුවෙන්ම දැවී ගියා.
ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 39 කින් ලකුණු 62 ක් රැස් කළේ හයේ පහර 2 ක් හා හතරේ පහර 8 ක් සමගින්. ග්ලේන් මැක්ස්වෙල් පන්දු 44 කින් ලකුණු 77 ක් ලබා ගත්තා. හයේ පහර 4 ක් හා හතරේ පහර 6 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.
පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් හා සන්දීප් ෂර්මා කඩුලු 2 බැගින් දවා ගත්තා.
මෙම තරගයෙන් පරාජයට පත් වුවද රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණේ පසුවනවා. බැංගලෝර් කණ්ඩායම 5 වැනි ස්ථානයේ පසුවනවා. පළමු ස්ථාන හයේ රැදී සිටින කණ්ඩායම් හයම ප්‍රසාද ලකුණු 8 බැගින් ලබා සිටීම විශේෂත්වයක්.

