මෙන්ඩිස්-මදුෂ්ක වාර්තා කළ ද්විත්ව ශතක හමුවේ අයර්ලන්තය ඉනිමක පරාජයෙන් ගැළවීමේ සටනක

Date:

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද (27) නිමා වුණේ තරගය ජය ගැනීම පිළිබද බලාපොරොත්තු ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්.

දිනය නිමා කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි අයර්ලන්තය කඩුලු 2 ක් දැවී ලකුණු 54ක් ලබා සිටියා. ඒ අනුව ඉනිමක පරාජයෙන් ගැළවීමටනම් ඔවුන් කඩුලු 8ක් අතැතිව තවත් ලකුණු 158 ක් ලබා ගත යුතුයි.

නොදැවී පන්දුවට පහර දෙන ඇන්ඩි බැල්බර්නි ලකුණු 18 ක් හා හැරී ටෙක්ටර් ලකුණු 7 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ජේම්ස් මැකලම් ලකුණු 10 කටත්, පීටර් මුවර් ලකුණු 19 කටත් දැවී ගියා. එම කඩුලු දෙක දවා ගත්තේ රමේෂ් මෙන්ඩිස් හා ප්‍රභාත් ජයසූරිය විසින්.

අද දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 357 ක් ලබා සිටි අතර, ඔවුන් සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 3 ක් දැවී ලකුණු 704 ක් ලබා සිටියදීයි.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් මුල්පෙල පිතිකරුවන් සිව් දෙනාම ශතක වාර්තා කිරීම කැපී පෙනුණා.

සිය මංගල ටෙස්ට් ශතකය තම මංගල ද්විත්ව ශතකය බවට පරිවර්තනය කිරීමට නිශාන් මදුෂ්ක සමත් වූ අතර, ඔහු පන්දු 339 කින් ලකුණු 205 ක් ලබා සිටියදී දැවී ගියා. හයේ පහරක් හා හතරේ පහර 22 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

© Getty Images

කුසල් මෙන්ඩිස් අද සිය 9 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ අතර, අනතුරුව ඔහු ද එය ද්විත්ව ශතකයක් බවට පරිවර්තනය කිරීමට සමත් වුණා. ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ඉනිමකදී පිතිකරුවෙකු එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව තමා සතු කර ගනිමින් හයේ පහර 11 ක් හා හතරේ පහර 18 ක් සමගින් පන්දු 291 කින් ලකුණු 245 ක් ලබා ගත්තා. එය ගාලු ක්‍රීඩාංගනයේ දී පිතිකරුවෙකු ටෙස්ට් ඉනිමකදී වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

මෙන්ඩිස් එල්ල කළ හයේ පහර 11 වාර්තා අතරට එක් වුණේ ටෙස්ට් ඉනිමකදී පිතිකරුවෙකු වාර්තා කළ සම දෙවැනි වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙසයි. ටෙස්ට් ඉනිමකදී හයේ පහර 12 ක් එල්ල කරමින් වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරු ලෙස ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ පාකිස්තාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක වසීම් අක්‍රම්.

ඇන්ජෙලෝ මැතිව්ස් පන්දු 114 කින් ලකුණු 100 ක් ලබා ගැනීමත් සමගයි ශ්‍රී ලංකාව සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේ. දිනේෂ් චන්දිමාල් ලකුණු 13 ක් ලබා සිටියදී සිදු වූ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා. ඔහු අනතුරුව වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහල් ගත කිරීමට පියවර ගත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 12 යි. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ද ලකුණු 115 ක් ඊයේ වාර්තා කළා.

පන්දු යැවීමේ දී ග්‍රැහැම් හියුම්, ඇන්ඩි මැක්බ්‍රයන් හා කර්ටිස් කැම්පර් කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 492 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...