කුසල් සහ දුෂ්මන්ත ලංකාවේ ගෞරවය රැක ගනියි; ශ්‍රී ලංකාවට ලකුණු 97ක ජයක්

Date:

නායක කුසල් ජනිත් පෙරේරා වාර්තා කළ ශතකය සහ දුෂ්මන්ත චමීරගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් බංග්ලාදේශය හමුවේ අවමන් සහගත පූර්ණ එක්දින තරගාවලි පරාජයක් ලැබීමෙන් ගැළවීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(28) සමත් වුණා.

තරග 3කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරග දෙක පරාජයට පත්වීමට බලපෑ පිතිකරණයේ දුර්වලතාවය ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි තරගයේ දී බොහෝ දුරට නිවැරැදි කර ගනිමින් තරග වැදුණු අතර, ඒ අනුව දෙරට අතර පැවැති අවසන් තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගත්තේ ලකුණු 97කින්.

මීර්පූර්හි ෂරී බංග්ලා ක්‍රීඩාංගනයේ දී පැවැති  තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 6ක් දැවී ලකුණු 286ක් ලබා ගනිමින්.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් සිය 6 වැනි එක්දින ශතකය වාර්තා කළ කුසල් ජනිත් පෙරේරා පන්දු 122කින් ලකුණු 120ක් රැස් කළේ හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමගින්.

ඔහු ලබා දුන් උඩ පන්දු 3ක් බංග්ලාදේශ පන්දු රකින්නන් අතින් ගිලිහී ගිය අතර, කුසල් ජනිත් ලබා දුන් තෙවැනි උඩ පන්දුව ගිලිහී ගියේ ඔහු ලකුණු 99ක් ලබා සිටියදීයි.

කුසල් ජනිත් සහ ධනුෂ්ක ගුණතිලක (39) පළමු කඩුල්ලට ලකුණු 82ක සබදතාවයක් ගොඩ නැගුවේ ධනාත්මක පිතිහරඹයක් පෙන්නුම් කරමින්.

කෙසේ වෙතත්, අනතුරුව අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි පැතුම් නිස්සංක ලකුණු නොලබා දැවී ගියා.

ධනංජය ද සිල්වා පන්දු 70කින් නොදැවී ලකුණු 55ක් ලබා ගනිමින් මැද පෙල ශක්තිමත් කළ ද, ඔහුගේ ඉනිම තරමක් මන්දගාමී ස්වරූපයක් ගනු ලැබුවා.

අවසන් පන්දුවාර 10 තුළ දී ද ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් වේගවත් පිතිහරඹයක් දැක ගත හැකි වූයේ නැහැ. (ලකුණු 69යි)

කෙසේ වෙතත්, මෙම තරගයේ දී බංග්ලාදේශ දග පන්දු යවන්නන්ට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවන් කිසිදු කඩුල්ලක් ලබා නොදීම කැපී පෙනුණා.

පන්දු යැවීමේ දී ටස්කින් අහ්මඩ් ලකුණු 46කට කඩුලු 4ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 42.3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 189ක් පමණයි.

බංග්ලාදේශ ඉනිම සම්පූර්ණයෙන්ම අඩපන කළ දුෂ්මන්ත චමීර සිය හොදම පන්දු යැවීම සටහන් කරමින් ලකුණු 16කට කඩුලු 5ක් බිද හෙලුවා.

වනිදු හසරංග සහ රමේෂ් මෙන්ඩිස් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගිය අතර, බංග්ලාදේශය වෙනුවෙන් මහ්මුදුල්ලාහ් ලකුණු 53ක් සහ මොසඩැක් හුසේන් ලකුණු 51ක් රැස් කළා.

මෙම තරගයේ දී රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න සහ බිදුර ප්‍රනාන්දු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

අවසන් තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගත්ත ද තරගාවලියේ ජය බංග්ලාදේශයට හිමි වූයේ තරග 2-1ක් වශයෙන්.

එය ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශය ජයගත් ඉතිහාසයේ පළමු තරගාවලිය ලෙසයි වාර්තා අතරට එක් වුණේ.

අවසන් තරගයේ වීරයා ලෙස දුෂ්මන්ත චමීර ද තරගාවලියේ වීරයා ලෙස මුෂ්ෆිකර් රහීම් ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...