ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජයිදේව් උනඩ්කට් ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන ඉන්දීය සංචිතයෙන් නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඉන්දීය තේරීම් කමිටුව හා කණ්ඩායම් කලමණාකාරීත්වය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ ඔහුට රංජි කුසලාන තරගාවලියේ අවසන් තරගය සදහා ක්‍රීඩා කිරීමට අවස්ථාව සලසා දීමේ අරමුණින්.
ඒ අනුව ජයිදේව් උනඩ්කට් Saurashtra සංචිතය සමග එක් වීමට නියමිතයි.
පෙබරවාරි 16 වැනිදා කොල්කටා හි ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිත රංජි කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ Bengal කණ්ඩායමයි.
මේ අතර, ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග 4කින් යුත් ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගය ධරම්සාලා හී දී නොපැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිල වශයෙන් තීරණය කර තිබෙනවා.
ඒ අනුව මාර්තු පළමු වැනිදා සිට 5 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත එම තරගය ඉන්දෝර් හෝ රාජ්කොට් හී දී පැවැත්වීමටයි අවධානය යොමුව ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය කඩිනමින් නිවේදනය කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කරනු ඇති.
ධරම්සාලා ක්‍රීඩාංගනයේ මෑතකාලීනව සිදු කළ ප්‍රතිසංස්කරණවලින් පසුව ජාත්‍යන්තර තරග පැවැත්වීම සදහා ක්‍රීඩාංගනය තවමත් සුදුසු මට්ටමක නොමැති බැවිනුයි මෙලෙස වෙනත් ක්‍රීඩාංගනයකදී එම තරගය පැවැත්වීමට තීරණය කර ඇත්තේ.

