LPL 5 වැනි අදියරට හා දඹුල්ල කණ්ඩායමට වෙන දේ ගැන සංවිධායකයින්ගෙන් නිවේදනයක්

Date:

දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරුවෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් සමග ඇතිව තිබෙන තත්ත්වයන් හමුවේ වුව ද, ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි අදියර නියමිත පරිදි පැවැත්වෙන බව තරගාවලියේ සංවිධායකයින් පවසනවා.

තරගාවලියේ සංවිධාන කටයුතු සිදු කරන Innovative Production Group FZE (IPG) සමූහය නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කළා.

ඒ අනුව LPL තරගාවලියට අදාළව නිකුත් කර ඇති තරග කාලසටහනට අනුව තරගාවලිය නියමිත පරිදි ජූලි පළමු වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මහනුවර පල්ලේකැලේ, රංගිරි දඹුල්ල හා කොළඹ ආර්. ප්‍රේමදාස යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනවලදී තරග පැවැත්වීමට නියමිතව තිබෙනවා.

දඹුල්ල කණ්ඩායමේ හිමිකරුවෙකු වූ Tamim Rahman ඊයේ (22) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනීමේ සිද්ධීයෙන් පසුව එම හිමිකරුවන් සමග පැවැති ගිවිසුම අවසන් කිරීමට තරගාවලියේ සංවිධායකයින් තීරණය කළා.

කෙසේ වෙතත්, Innovative Production Group පෙන්වා දෙන්නේ නව හිමිකාරීත්වයක් යටතේ දඹුල්ල කණ්ඩායම ද එළඹෙන තරග වාරය වෙනුවෙන් ක්‍රීඩා කරන බවයි.

දඹුල්ල කණ්ඩායම නව හිමිකාරීත්වයකට පැවරීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින බව ද ඔවුන් සදහන් කළා.

LPL ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පසුගිය 21 වැනිදා කොළඹ දී පැවැති පසුබිමකයි දඹුල්ල කණ්ඩායමේ හිමිකරු ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබුණේ.

වෙන්දේසියට පෙරම ඩිල්ෂාන් මදුෂංක හා නුවන් තුෂාර වැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමග ගිවිසුම්ගත වී සිටි දඹුල්ල පිල විදෙස් ක්‍රීඩකයින් ලෙස මුස්ටර්ෆිසුර් රහ්මාන් හා ඊබ්‍රහීම් සඩ්‍රාන් සමග ද ගිවිසුම්ගත වී සිටියා.

වෙන්දේසියේ දී ඔවුන් ඉහළම මිලකට මිලදී ගත්තේ ඇෆ්ඝනිස්තානයේ කරීම් ජනත්. ඒ, ඇමෙරිකානු ඩොලර් 80,000 ක මුදලකටයි.

ඇෆ්ඝනිස්තානයේ හස්රතුල්ලාහ් සසායි, පාකිස්තානයේ ඉෆ්ටිකාර් අහ්මඩ්, හෙයිදර් අලී මෙන්ම ශ්‍රී ලංකාවේ අකිල ධනංජය, ධනුෂ්ක ගුණතිලක, නුවනිදු ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, අසේල ගුණරත්න වැනි ක්‍රීඩකයින් ද දඹුල්ල කණ්ඩායම විසින් වෙන්දේසියේ දී මිලදී ගනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...