දෙදිනක් පුරා පැවැති 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සෞදි අරාබියේ Jeddah හීදී සදුදා (25) රාත්‍රියේ අවසන් වුණා.
වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 19 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත්, ඉදිරිපත් කිරීමට පියවර ගැණුනේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 9 දෙනෙකු පමණයි.
ඉන් ක්‍රීඩකයින් 6 දෙනෙකු මිලදී ගැනීමට කණ්ඩායම් හිමිකරුවන් කටයුතු කළ අතර, විජයකාන්ත් වියස්කාන්ත්, පැතුම් නිස්සංක හා ඩිල්ෂාන් මදුෂංක යන ක්‍රීඩකයින් අලෙවි වූයේ නැහැ.
වෙන්දේසියේදී අලෙවි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන්නේ මහීෂ් තීක්ෂණ, වනිදු හසරංග, නුවන් තුෂාර, කමිදු මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර හා ඒෂාන් මාලිංග යන ක්‍රීඩකයින්.
කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ජෙෆ්රි වැන්ඩර්සේ, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, දුනිත් වෙල්ලාලගේ, දුෂාන් හේමන්ත, දසුන් ශානක, ලහිරු කුමාර හා දුමිදු සෙව්මින යන ක්‍රීඩකයින් වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරුණේ නැහැ.
දෙවැනි දිනයේ දී හා පළමු දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලෙවි වුණේ කොහොමද?
දෙවන දිනයේ දී පළමුවෙන්ම වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයා වූයේ විජයකාන්ත් වියස්කාන්ත්. ඔහුව කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගත්තේ නැහැ.
නුවන් තුෂාර මුම්බායි පිලෙන් බැංගලූරු කණ්ඩායමට
අනතුරුව නුවන් තුෂාර වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරුණු අතර, ඔහුව මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 1.6 කට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම විසිනුයි. එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 5.5 ක් පමණ වනවා.
පසුගිය අදියරේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ නුවන් තුෂාර ඉන්දීය රුපියල් ලක්ෂ 75 කාණ්ඩයෙන් වෙන්දේසියට ඉදිරිපත් වූ අතර, ඔහු වෙනුවෙන් පළමුව ලංසු ඉදිරිපත් කළේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමයි. අනතුරුව බැංගලූරු කණ්ඩායම ලංසු ඉදිරිපත් කරමින් සටනට පිවිසි අතර, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ද පසුව ඔහු වෙනුවෙන් ලංසු ඉදිරිපත් කළා. කෙසේ වෙතත්, අවසානයේ නුවන් තුෂාර මිලදී ගැනීමට සමත් වුණේ RCB කණ්ඩායමයි.
කමිදුගේ අයි.පී.එල් සිහිනය සැබෑ වෙයි
කමිදු මෙන්ඩිස් හා දුෂ්මන්ත චමීර ද වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරුණු අතර, ඔවුන් දෙදෙනාව පිළිවෙලින් මිලදී ගනු ලැබුවේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසිනුයි. ඔවුන් දෙදෙනාම ඉන්දීය රුපියල් ලක්ෂ 75 බැගින් වන මුදලකට අලෙවි වුණා. ශ්‍රී ලංකා මුදලින් එහි වටිනාමක රුපියල් ලක්ෂ 258 ක් පමණ වනවා.
ඒෂාන් මාලිංගටත් වටිනාකමක්
මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති වේග පන්දු යවන ක්‍රීඩක ඒෂාන් මාලිංග ද වෙන්දේසියේදී අලෙවි වීම කැපී පෙනුණා. ඔහු ඉන්දීය රුපියල් ලක්ෂ 30ක මූලික වටිනාකමක් යටතේ වෙන්දේසියට ඉදිරිපත් වූ අතර, ඔහුව ඉන්දීය රුපියල් කෝටි 1.2 කට මිලදී ගත්තේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමයි.
ඔහුව මිලදී ගැනීම සදහා සන්රයිසස් පිල හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර තියුණු සටනක් නිර්මාණය වූ නමුත්, සන්රයිසස් පිල විසින් ඒෂාන් මාලිංග මිලදී ගැනීමට සමත් වුණා. ඔහුට හිමිවූ මුදල ශ්‍රී ලංකා මුදලේ වටිනාකමින් රුපියල් කෝටි 4.14 ක් පමණ වනවා.
පළමු දිනය වූ ඉරිදා දිනයේදී වෙන්දේසියට ඉදිරිපත් කෙරුණේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු පමණයි.
වෙන්දේසියට පළමුව ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයා වූයේ මහීෂ් තීක්ෂණයි. ඔහු ඉන්දීය රුපියල් කෝටි දෙකේ කාණ්ඩයෙන් වෙන්දේසියට ඉදිරිපත් වූ අතර, ඔහුව ඉන්දීය රුපියල් කෝටි 4.40 කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 15 ක පමණ අගයක්) මිලදී ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තීක්ෂණව මිලදී ගැනීම සදහා පළමුව ලංසු ඉදිරිපත් කළ අතර, පසුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලංසු ඉදිරිපත් කරමින් සටනට පිවිසුණා. කෙසේ වෙතත්, ඔහුව මිලදී ගැනීමට සමත් වුණේ රාජස්ථාන් කණ්ඩායමයි.
අනතුරුව වනිදු හසරංග ද වෙන්දේසියට ඉදිරිපත් කෙරුණා. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පළමුව ලංසු ඉදිරිපත් කළ අතර, පසුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ද ලංසු ඉදිරිපත් කළා. කෙසේ වෙතත්, ඔහුව රාජස්ථාන් කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 5.25 ක මුදලකටයි. එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 18 ක් පමණ වනවා.
[wpdatatable id=33]

