IPL පිටියේ දී තෙවන විනිසුරු පිට පිට දෙවැනි දිනටත් වැඩ වරද්දා ගනියි

Date:

ක්‍රිකට් තරග අතරතුර දී විනිසුරුවන් අතින් වැරදි සිදු වීම සාමාන්‍ය සිදුවීමක්.

විශේෂයෙන් පිතිකරුවන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවන අවස්ථාවන් පිළිබද මෙන්ම කඩුලු රකින්නා අතට උඩ පන්දු ලබා දී දැවී යන අවස්ථා සම්බන්ධයෙන් තීරණ ලබා දීම බොහෝ විට පහසු වන්නේ නැහැ.

එවැනි අවස්ථාවන්වලදී විනිසුරුවන් අතින් වැරැදි තීරණ ද ලබා දෙන අතර, විනිසුරු තීරණ නැවත විමසීමේ (DRS) ක්‍රමවේදය ද හදුන්වා දී ඇත්තේ මෙවැනි වරදවල්වලින් තරගයට සිදුවන බලපෑම අවම කර ගැනීමේ අරමුණින්.

පිටියේ විනිසුරු අතින් එවැනි වරදවල් සිදු වීම සාමාන්‍ය වුවද, තෙවන විනිසුරු අතින් වැරැදි තීරණ ලබා දීමක් බොහෝ විට දැකගන්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින්.

නමුත්, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පසුගියදා පැවැති 48 වන තරගයේ දී මෙන්ම ඊයේ(4) පැවැති 50 වැනි තරගයේ දී ද තෙවන විනිසුරු අතින් වැරදි තීරණ දෙකක් ලබා දීම මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති කරුණක්.

  • පළමු සිදු වීම

තරගාවලියේ 48 වන තරගය පැවැත්වුණේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා පංජාබ් කිංග්ස් කණ්ඩායම අතරයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දෙව්දත් පඩික්කල් විසින් එක් අවස්ථාවක කඩුලු රකින ක්‍රීඩක කේ.එල් රාහුල්ට උඩ පන්දුවක් ලබා දී දැවී ගිය බවට පංජාබ් ක්‍රීඩකයින් ඉල්ලීමක් සිදු කළා.

නමුත් විනිසුරු විසින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය යොදා ගැනීමට පංජාබ් පිල කටයුතු කළා.

පුනරූපනවලදී දක්නට ලැබුණේ පන්දුව අත්ආවරණවල ගෑවී කඩුලු රකින්නා වෙත ළගා වූ බවයි. ඒ අනුව පිතිකරුවා දැවී ගිය අයෙකු විය යුතු බවට බොහෝ දෙනෙකු මත පල කළ ද , තෙවන විනිසුරු විසින් පඩික්කල් දැවී නොගිය අයෙකු ලෙසටයි නම් කළේ.

එම තීරණය බොහෝ ක්‍රීඩා විචාරකයින්ගේ මවිතයට මෙන්ම විවේචනයට ද ලක් වුණා.

  • දෙවැනි සිදු වීම

තරගාවලියේ 50 වැනි තරගය ඊයේ පැවැත්වුණේ චෙන්නායි සුපර් කිංග්ස් හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතරයි.

තරගයේ අවසන් පන්දුවාරය ඩ්වේයන් බ්‍රාවෝ විසින් යොමු කළ අතර, තරගය ජය ගැනීමටනම් ඔහු විසින් එම පන්දුවාරයට ලකුණු 6ක් පමණක් ආරක්ෂා කර ගත යුතුව තිබුණා.

එවැනි පසුබිමක එම පන්දුවාරයේ දෙවැනි පන්දුව ඔහු පිට ඉන්නට බොහෝ ඈතින් යොමු කරනු ලැබූ අතර, එය තණතීරුවේ පතිත නොවී short-third man කලාපයට ඇදී ගියා.එහිදී එක් ලකුණක් කරා දිව යාමට ද පිතිකරුවන් කටයුතු කළ අතර, විනිසුරු විසින් එය නිපන්දුවක් ලෙස සංඥා කිරීමට ද උත්හාස කරනු දක්නට ලැබුණා.

පන්දුව තණතීරුවේ පතිත නොවන අවස්ථාවක එම පන්දුව නිපන්දුවක් ලෙස සංඥා කළ යුතුයි.

කෙසේ වෙතත්, තෙවන විනිසුරු සමග සාකච්ඡා කිරීමෙන් පසුව විනිසුරු විසින් එය නිපන්දුවක් නොව වයිඩ් පන්දුවක් ලෙස සංඥා කරනු ලැබුවා.

එම තීරණය ද බොහෝ ක්‍රීඩා විචාරකයින්ගේ විවේචනයට ලක්ව ඇති අතර, දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ පුහුණුකරු රිකී පොන්ටින් ද අදාළ තීරණයට එම අවස්ථාවේ දී දැඩි අප්‍රසාදයක් පල කරනු දක්නට ලැබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...