LPL පළමු ජය සුපිරි පන්දුවාරයෙන් කලම්බු කිංග්ස් කණ්ඩායමට

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සුපිරි ආරම්භයක් ලබා දෙමින් තරගාවලියේ පළමු තරගයෙන් සුපිරි පන්දුවාරයේ ජයක් වාර්තා කිරීමට කලම්බු කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

හම්බන්තොට පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ කොළඹ කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 3ක් දැවී ලකුණු 219ක් රැස් කිරීමට සමත් වූ අතර, ඉනිමේ පළමු කඩුල්ලට පන්දුවාර 5.4ක් තුළ ලකුණු 75ක වේගවත් සබදතාවයක් ගොඩ නැගීමට නායක කුසල් ජනිත් සහ 19 හැවිරිදි රහ්මනුල්ලාහ් ගුර්බාස් සමත් වුණා.

ගුර්බාස් පන්දු 22කින් ලකුණු 53ක් රැස් කළේ හයේ පහර 4ක් සහ හතරේ පහර 6ක් සමගින්.

නායක කුසල් ජනිත් පන්දු 52කින් ලකුණු 87ක් ලබා ගත්තා. (6×4, 4×9)

SLC

අසේල ගුණරත්න නොදැවී ලකුණු 33ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 30ක් ලබා ගනිමින් මහනුවර ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී මන්ප්‍රීට් ගෝනි, දුෂ්මන්ත චමීර සහ කායිස් අහ්මඩ් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු කිංග්ස් කණ්ඩායම ද පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලබා ගත්තේ ලකුණු 219ක් පමණයි.

ඉනිමට ප්‍රබල ආරම්භයක් ලබා දුන් දිනේෂ් චන්දිමාල් පන්දු 46කින් ලකුණු 80ක් රැස් කළේ හයේ පහර 2ක් සහ හතරේ පහර 12ක් සිය ඉනිමට එක් කරමින්.

SLC

සුපිරි පිතිකරු ඇන්ඩ්‍රි රසල් ලකුණු 24කට දැවී ගිය අතර, අනතුරුව ඉසුරු උදාන පන්දු 12ක් තුළ හයේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 34ක් රැස් කරමින් තරගයේ ලකුණු සංඛ්‍යාව සම තත්ත්වයට රැගෙන යාමට සමත් වුණා.

පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් සහ නවීන් උල් හක් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මහනුවර කණ්ඩායමේ ඉර්ෆාන් පතාන් පන්දුවාර 1යි පන්දු 5ක් පමණක් යැවීමෙන් අනතුරුව පාදයක ඇති වූ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා.

තරගයේ ලකුණු සමවීම හේතුවෙන් ජයග්‍රාහකයා තේරීම සදහා ලබා දුන් සුපිරි පන්දුවාරයේ දී පළමුව පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 16ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 12ක් පමණයි.

ඉසුරු උදාන විසින් යවනු ලැබූ එම පන්දුවාරයේ සිව්වන පන්දුව වයිඩ් පන්දුවක් වුවද විනිසුරු විසින් එය වයිඩ් පන්දුවක් ලෙස සලකුණු නොකිරීම තරගයේ තීරණයට බෙහෙවින් බලපානු ලැබුවා.

තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ දිනේෂ් චන්දිමාල්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...