2027 වසරෙන් පසුව ශ්රී ලංකාවේ හා බංග්ලාදේශයේ සිදු කිරීමට නියමිත ටෙස්ට් තරග සංචාරවලදී එක් ටෙස්ට් තරගයක් පමණක් ක්රීඩා කිරීමට එංගලන්ත ක්රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.
The Guardian වාර්තා කර ඇත්තේ එංගලන්තයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලි සදහා තරග 5ක් ඇතුළත් කරමින් ක්රීඩා කිරීමට එංගලන්තයේ වැඩි අවධානයක් යොමුව ඇති බවයි.
ලබන වසරේ සිට ආරම්භ වන මීළග ලෝක ටෙස්ට් ශූරතාවලියට (WTC) ටෙස්ට් රටවල් 12 ම ඇතුළත් කිරීමට අයි.සී.සීයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව WTC යටතේ පැවැත්වෙන එක් ටෙස්ට් තරගාවලියක් සදහා එක් ටෙස්ට් තරගයක් පමණක් ඇතුළත් කරමින් තරගාවලි සංවිධාන කිරීමට ද අවසර හිමි වනු ඇති බවයි වාර්තා වන්නේ.
වත්මන් නීතිය අනුව එක් ටෙස්ට් තරගාවලියක් සදහා අවම වශයෙන් ටෙස්ට් තරග දෙකක් පැවැත්විය යුතුයි.
ඉදිරියේදී සිදු කිරීමට නියමිත මෙම සංශෝදනයත් සමග ශ්රී ලංකාවේ හා බංග්ලාදේශයේ සිදු කරන සංචාරවලදී එක් ටෙස්ට් තරගයක් පමණක් ක්රීඩා කිරීමටත්, සීමිත පන්දුවාර තරග වැඩි වශයෙන් ක්රීඩා කිරීමටත් එංගලන්තයේ අවධානය යොමුව තිබෙනවා.
කෙසේ වෙතත්, පාකිස්තානය හා දකුණු අප්රිකාව සමග ටෙස්ට් තරග 5 කින් යුත් තරගාවලි සංවිධාන කිරීමට මේ වන විටත් සාකච්ඡා සිදු වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

