කොන්දේසි මත ශූරයින්ගේ කුසලානය දෙමුහුන් ක්‍රමවේදයට පවත්වන්න පාකිස්තානය එකගවන ලකුණු

Date:

අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය දෙමුහුන් ක්‍රමවේදය යටතේ පාකිස්තානයේ දී හා වෙනත් රටකදී පැවැත්වීම සදහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය එකග වනු ඇති බවට තොරතුරු වාර්තා වන්නේ යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කොන්දේසි සහගතව පාකිස්තානය ඊට එකග වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ. එහිදී 2031 වසර දක්වා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත අයි.සී.සී තරගාවලි සදහා ද දෙමුහුන් ක්‍රමවේදය යොදා ගැනීමට අයි.සී.සීය හා ඉන්දියාව එකග විය යුතුයි.

අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ඉන්දීය කණ්ඩායම පාකිස්තානයට පිටත් කර හැරීම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රතික්ෂේප කිරීමත් සමග ඇතිව තිබෙන අර්බුදය පිළිබද සාකච්ඡා කිරීම සදහා ඊයේ(29) දිනයේදී අයි.සී.සී අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් පැවැති අතර, එහිදී තරගාවලිය දෙමුහුන් ක්‍රමවේදය යටතේ පැවැත්වීමට පාකිස්තානය හැර සෙසු සියලු රටවල් කැමැත්ත පල කර තිබූ බව සදහන්.

නමුත්, තරගාවලිය පාකිස්තානයේම පැවැත්විය යුතු බවට වන ස්ථාවරයේම පාකිස්තාන ක්‍රිකට් ආයතනය රැදී සිට තිබූ බවයි වාර්තා වන්නේ.

එවන් පසුබිමක අයි.සී.සීය විසින් පාකිස්තානයට දැනුම් දී ඇත්තේ දෙමුහුන් ක්‍රමවේදය යටතේ තරගාවලිය පැවැත්වීම සදහා එකගතාවය පල කරන ලෙසටයි. එසේ නොවන්නේනම් තරගාවලියේ සත්කාරකත්වය සම්පූර්ණයෙන්ම පාකිස්තානයට අහිමි වීමේ අවධානමක් මතුව ඇති අතර, තරගාවලිය සම්පූර්ණයෙන්ම පාකිස්තානයෙන් පිටතදී පැවැත්වුවහොත් පාකිස්තානය ද තරගාවලියට එක් නොවනු ඇති.

පවතින තත්ත්වය මත කොන්දේසි සහගතව දෙමුහුන් ක්‍රමවේදයට එකගතාවය පල කිරීමට පාකිස්තානය සූදානම් බවයි PTI පුවත් සේවය ද වාර්තා කර ඇත්තේ.

එහිදී ඉන්දියාව ක්‍රීඩා කරන සියලු තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට බොහෝ දුරට ඉඩ පවතිනවා. ඉන්දියාව අවසන් පූර්ව වටයට හා අවසන් තරගයට සුදුසුකම් ලැබුවහොත් එම තරගද එක්සත් අරාබියේදීම පැවැත්වීමට නියමිතයි. එසේ නොවුණහොත් අවසන් පූර්ව තරග හා අවසන් තරගය පාකිස්තානයේදී පැවැත්වීමට ඇතැම් විට කටයුතු යොදනු ඇති.

මෙවන් පසුබිමක පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති Mohsin Naqvi හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී Mubasher Usmani අතර සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා. ශූරයින්ගේ කුසලාන තරගාවලිය දෙමුහුන් ක්‍රමවේදය යටතේ පැවැත්වීමට පාකිස්තානය එකග වනු ඇති බවට මෙය ඉගි පල කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ශූරයින්ගේ කුසලානය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා බොහෝ විට හෙට(1) දිනයේදී යළිත් අයි.සී.සී රැස්වීමක් පැවැත්වීමට ඉඩ තිබෙනවා.

දෙමුහුන් ක්‍රමවේදය යටතේ එළඹෙන ශූරයින්ගේ කුසලාන තරගාවලිය පැවැත්වුවහොත් අයි.සී.සීයට බොහෝ දුරට 2031 වසර දක්වා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත අයි.සී.සී තරගාවලි සදහා ද එම ක්‍රමවේදය යොදා ගැනීමට සිදු වනු ඇති.

2025 කාන්තා එක්දින ලෝක කුසලානය, 2026 T20 ලෝක කුසලානය, 2029 ශූරයින්ගේ කුසලානය හා 2031 එක්දින ලෝක කුසලානය ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි. ඉන් 2026 තරගාවලිය හා 2031 තරගාවලිය පිළිවෙලින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ සමග එක්ව ඉන්දියාව සත්කාරකත්වය දරන බැවින් එම තරගාවලි සදහා පාකිස්තානයේ ඉල්ලීම ඉටු කිරීම අපහසු නොවනු ඇති.

කෙසේ වෙතත්, මෙලෙස දෙමුහුන් ක්‍රමවේදය යටතේ තරගාවලි පැවැත්වීමේදී ඉන්දියාව හා පාකිස්තානය අතර තරග පවත්වන්නේ කුමන රටකද යන්න ගැටලුවක්.

මේ අතර, අයි.සී.සී නව සභාපතිවරයා ලෙස තේරී පත් වූ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශාහ් හෙට දිනයේදී එම ධූරයේ වැඩ භාර ගැනීමට ද නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...