සමරවීරට එරෙහිව තවත් වසර 10 ක ක්‍රිකට් තහනමක්

Date:

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන දුලිප් සමරවීරට එරෙහිව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් තවත් දඩුවමක් පනවා තිබෙනවා. ඒ, ඔහුට එරෙහිව එල්ල වූ තවත් විෂමාචාර චෝදනාවක් හේතුවෙන්.

ඒ අනුව ඔහුට එරෙහිව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තුළ, ප්‍රාන්ත ක්‍රිකට් සංගම් තුළ මෙන්ම බිග් බෑෂ් ලීග් හා කාන්තා බිග් බෑෂ් ලීග් කණ්ඩායම්වල තනතුරු දැරීමට අවසර නොලැබෙන පරිදි මීට පෙර පැනවූ වසර 20 ක ක්‍රිකට් තහනමට සමගාමීව ක්‍රියාත්මක වන පරිදි තවත් වසර 10 ක ක්‍රිකට් තහනමක් පැනවීමටයි පියවර ගෙන ඇත්තේ.

ක්‍රිකට් තහනම් දෙකම සමගාමීව ක්‍රියාත්මක වන බැවින් සමරවීරට 2044 වසර දක්වා එරට තුළ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වීමට නොහැකි වනු ඇති.

52 හැවිරිදි ඔහු වික්ටෝරියා ක්‍රිකට් සමග කටයුතු කළ කාලයේ දී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ චර්යාධර්ම සංග්‍රහය බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවට විමර්ශනවලින් අනාවරණය වීම හේතුවෙනුයි ඔහුට එරෙහිව මීට පෙර වසර 20 ක තහනමක් පැනවුණේ. ඔහු දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රීඩිකාවකට එරෙහිව නුසුදුසු හැසිරීමක නිරතව ඇති බවට තහවුරු වූ බැවින් එම තහනම පැනවුණා.

ඉන් අනතුරුව ද ඔහුට එරෙහිව තවත් විෂමාචාර චෝදනාවක් එල්ල වුණා. වික්ටෝරියා ක්‍රිකට් සමග කටයුතු කරන කාලයේදී ඔහු පෞද්ගලික පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර ඇති අතර, එහිදී මෙම විෂමාචාර සිද්ධීන් සිදුව ඇති බවටයි චෝදනා එල්ල වුණේ.

සමරවීර එම චෝදනා ප්‍රතික්ෂේප කළ නමුත් විමර්ශනයට සහ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් චර්යා කොමිසම් විභාගයට සහභාගි නොවීමට ඔහු තීරණය කර ඇති අතර, ඒ අනුව ඔහුට එරෙහිව වසර 10 ක තහනමක් නියම කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

වික්ටෝරියා කාන්තා කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු වන සමරවීර එම කණ්ඩායම සමග පිතිකරණ පුහුණුකරුවෙකු ලෙස පළමු වරට එක් වූයේ 2008 වසරේ දී යි.

2023 වසරේ නොවැම්බර් මාසයේ දී ඔහු එම කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස පත් කෙරුණු අතර, පසුගිය මැයි මාසයේ දී ඔහු ප්‍රධාන පුහුණුකරු ලෙස ස්ථීර වශයෙන් පත් කෙරුණා.

නමුත්, වැඩ භාර ගැනීමෙන් සති දෙකකට පසුව දුලිප් සමරවීර එම ධූරයෙන් ඉල්ලා අස්වුණා. ඒ, ඔහුගේ සහෝදරයා වන ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක තිලාන් සමරවීර සහාය පුහුණුකරුවෙකු ලෙස බදවා ගැනීමට ඔහු ගත් උත්සාහයක් ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රතිපත්ති හේතුවෙන් ඉටු කර ගැනීමට නොහැකි වීම හේතුවෙන්.

දුලිප් සමරවීර 1993 හා 1994 වසරවලදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරග හතක් හා එක්දින තරග පහක් ක්‍රීඩා කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...