ශ්‍රී ලංකාවේ වාර්තාවත් බිද දමමින් සංජුගේ හා තිලක්ගේ ශතක ඉන්දියාවට තරගාවලියේ ජය හිමි කර දෙයි

Date:

සංජු සැම්සන් හා තිලක් වර්මා නොදැවී රැස් කළ වේගවත් ශතක හමුවේ දකුණු අප්‍රිකාව සමග පැවැති සිව්වැනි විස්සයි 20 තරගයෙන් ලකුණු 135 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් තරග 4 කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3-1 ක් ලෙස ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

වාර්තා රැසක් අලුත් කරමින් ජොහැනස්බර්ග්හි පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුල්ලක් දැවී ලකුණු 283 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දුවාර 18.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 148 ක් පමණයි.

ඉන්දියාව රැස් කළ ලකුණු 283 ඉතිහාසගත වුණේ විස්සයි 20 ජාත්‍යන්තර පිටියේදී කණ්ඩායමක් රැස් කළ පස්වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව හා ඉන්දියාව ලබාගත් දෙවෙනි ඉහළම  ලකුණු සංඛ්‍යාව ලෙසයි. එමෙන්ම දකුණු අප්‍රිකාවේදී කණ්ඩායමක් T20I තරගයකදී වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ ද එයයි. මීට පෙර දකුණු අප්‍රිකාවේ දී වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කර තිබුණේ ශ්‍රී ලංකාවයි (කෙන්යාවට එරෙහිව 2007 වසරේ දී ලබා ගත් ලකුණු 260/6).

මෙම තරගයේ දී සංජු සැම්සන් හා තිලක් වර්මා දෙවැනි කඩුල්ලට ලකුණු 210* (86) ක වාර්තාගත සම්බන්ධතාවයක් ද ගොඩ නැගීමට සමත් වුණා. එය දෙවැනි කඩුල්ල වෙනුවෙන් විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී වාර්තා වූ හොදම සම්බන්ධතාවය වන අතර, ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වූ 6 වැනි හොදම සම්බන්ධතාවය ද වනවා.

දකුණු අප්‍රිකාවට එරෙහි පළමු විස්සයි 20 තරගයේ දී ද සැම්සන් විශිෂ්ඨ ශතකයක් වාර්තා කළ අතර, තෙවැනි විස්සයි 20 තරගයේ දී තිලක් වර්මා ද ශතකයක් රැස් කළා.

සැම්සන් මෙම තරගයේ දී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 109 (56) ක්. හයේ පහර 9 ක් හා හතරේ පහර 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. වර්මා නොදැවී ලකුණු 120 ක් රැස් කළේ පන්දු 47 ක් පමණක් වැය කරමින්. හයේ පහර 10 ක් හා හතරේ පහර 9ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

පිළිතුරු දකුණු අප්‍රිකා ඉනිම වෙනුවෙන් ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 43(29)ක් හා ඩේවිඩ් මිලර් ලකුණු 36(27) ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අර්ෂ්දීප් සිං ලකුණු 20 කට කඩුලු 3 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...