බංග්ලාදේශය හමුවේ පරාජය වෙමින් ශ්‍රී ලංකාව පළමු වටයෙන්ම ඉවතට විසි වීමේ දැඩි අවධානමක

Date:

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගයෙන් බංග්ලාදේශය හමුවේ කඩුලු දෙකක පරාජයක් ලබමින් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමේ දැඩි අවධානමකට ඇද වැටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද(8) සිදු වුණා.

ඩලස්හී දී පැවැති තරගය ජය ගැනීම සදහා බංග්ලාදේශයට ලකුණු 125 ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් පන්දුවාර 19 ක් අවසානයේදී කඩුලු 8ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සෞම්‍ය සාකාර් ලකුණු නොලබා සිටියදීත්, ටන්සිඩ් හසාන් ලකුණු 3කටත්, නජ්මුල් හොසේන් ලකුණු 7කටත් දවා ගනිමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් බංග්ලාදේශයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ නමුත්, ලිටොන් දාස් ලකුණු 36(38) ක් හා තව්හිද් හ්රිදෝයි ලකුණු 40(20) ක් රැස් කරමින් සිය කණ්ඩායමට ජයග්‍රාහී මාවත විවර කර දුන්නා.

හ්රිදෝයි බංග්ලාදේශ ඉනිමේ 12 වැනි පන්දුවාරයේ දී වනිදු හසරංගට එරෙහිව පිට පිට හයේ පහර 3ක් එල්ල කිරීම බංග්ලාදේශයට ජයග්‍රහනයේ මාවත පහසු කළ නමුත්, නුවන් තුෂාරගේ අනර්ඝ පන්දු යැවීම බංග්ලාදේශයට දැඩි අභියෝගයක් එල්ල කළා.

තුෂාර මෙම තරගයේ දී පන්දුවාර 4 තුළ දී ලකුණු 18 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වුණා. වනිදු හසරංග කඩුලු දෙකක් දවා ගත්තේ ලකුණු 32 ක් ලබා දෙමින්.

අවසන් පන්දු 18 තුළ දී ලකුණු 14 ක් ජයග්‍රහනය සදහා බංග්ලාදේශයට අවශ්‍ය වූ අතර, නුවන් තුෂාර විසින් 18 වැනි පන්දුවාරයේ දී පිට පිට කඩුලු දෙකක් දවා ගනිමින් ශ්‍රී ලංකාව යළි සටනට අවතීර්ණ කළා. ඒ අනුව අවසන් පන්දු 12 තුළ දී බංග්ලාදේශයට ජයග්‍රහනයට අවශ්‍ය වූ ලකුණු ප්‍රමාණය 11 ක්.

නමුත්, දසුන් ශානක යොමු කළ 19 වැනි පන්දුවාරයේ පළමු පන්දුවම තණතීරුවේ පතිත නොවී ( full toss) මහ්මුදුල්ලාහ් වෙත ඇදී ආ අතර, එම පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කිරීමට මහ්මුදුල්ලාහ් සමත් වුණේ ජයග්‍රහනය පිළිබද සියලු බලාපොරොත්තු ශ්‍රී ලංකාවෙන් උදුරා ගනිමින්. මහ්මුදුල්ලාහ් නොදැවී ලකුණු 16(13) යි.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ ලකුණු 124 ක් ලබා ගත්තේ කඩුලු 9ක් දැවී සිටියදීයි.

පැතුම් නිස්සංක පන්දු 28 කින් ලකුණු 47 ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට වේගවත් ආරම්භයක් ලබා දුන් නමුත්, සෙසු කිසිදු පිතිකරුවෙකුගෙන් සාර්ථක ඉනිමක් දැකගත හැකි වූයේ නැහැ.

කුසල් මෙන්ඩිස් ලකුණු 10 කටත්, කමිදු මෙන්ඩිස් ලකුණු 4 කටත්, ධනංජය ද සිල්වා ලකුණු 21 කටත් දැවී ගියා. චරිත් අසලංක ලබා ගත් ලකුණු සංඛ්‍යාව 19 ක්.

වනිදු හසරංග පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, දසුන් ශානක රැස් කළේ ලකුණු 3 ක් පමණයි.

පන්දු යැවීමේ දී මුස්ටර්ෆිසුර් රහ්මාන් ලකුණු 17 කට කඩුලු 3 ක් දවා ගත් අතර, රිෂාද් හොසේන් ලකුණු 22 කට කඩුලු 3 ක් බිද හෙලුවා. ටස්කින් අහ්මඩ් ලකුණු 25 කට දවා ගත් කඩුලු ගණන දෙකක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...