කාසිය අවාසියට පෙරළා ගත් ශ්‍රී ලංකාවට පළමු තරගයෙන් නින්දා සහගත පරාජයක්

Date:

දුර්වල තීරණ හේතුවෙන් නින්දා සහගත පරාජයක් සමග 2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද(3) සිදු වුණා. ඒ, ලෝක කුසලාන තරගාවලියේ 4 වැනි තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු හයක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වීමත් සමගයි.

නිව් යෝර්ක්හී දී මෑතකදී ඉදි කරන ලද Nassau ප්‍රාන්ත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී මෙම තරගය පැවැති අතර, තණතීරුවේ හැසිරීම පිළිබද කිසිදු අවබෝධයක් බොහෝ දෙනෙකුට නොමැති වාතාවරණයක් තුළ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කිරීම මවිතයට කරුණක්.

ශ්‍රී ලංකාව ගත් දුර්වල තීරණයෙන් උපරිම ප්‍රයෝජන ගත් දකුණු අප්‍රිකා පන්දු යවන්නන් ශ්‍රී ලංකා ඉනිම සම්පූර්ණයෙන්ම විනාශ කර දැමුවේ පන්දුවාර 19.1 ක් තුළ සියලු පිතිකරුවන් ලකුණු 77 කට දවා ගනිමින්. එය විස්සයි 20 ජාත්‍යන්තර තරග ඉතිහාසයේ දී ශ්‍රී ලංකාව වාර්තා කළ අවම ලකුණු සංඛ්‍යාවයි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පන්දු 30 කින් ලකුණු 19 ක් රැස් කළ කුසල් මෙන්ඩිස්. පැතුම් නිස්සංක ලකුණු 3 කට දැවී ගියා.  කමිදු මෙන්ඩිස් ලකුණු 11(15) යි.

වනිදු හසරංග හා සධීර සමරවික්‍රම ලකුණු නොලබා සිටියදී දැවී ගිය අතර, චරිත් අසලංක ලකුණු 6යි. ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 16(16) ක් හා දසුන් ශානක ලකුණු 9(10) ක් ලබා ගනිමින් බිද වැටුණු ඉනිම ගොඩ ගැනීමට උත්සාහ දැරූ නමුත් එය සාර්ථක වූයේ නැහැ. මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 7 යි.

පන්දු යැවීමේ දී අන්රික් නොකියා ලකුණු 7 කට කඩුලු 4 ක් දවා ගත් අතර, කාගිසෝ රබාඩා හා කේෂාව් මහරාජ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට ද යම් තර්ජනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණේ තණතීරුවේ සහාය හැකි පමණින් යොදා ගනිමින්. කෙසේ වෙතත්, ඉහළ වේගයකින් පන්දු යවන දුෂ්මන්ත චමීර මෙම තරගයට ක්‍රීඩා නොකිරීම ද ශ්‍රී ලංකාවට දැඩි පාඩුවක් වූ බව දක්නට ලැබුණා.

දකුණු අප්‍රිකාව පන්දුවාර 16.2 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා. රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 4කට දවා ගැනීමට නුවන් තුෂාර සමත් වූ අතර, දසුන් ශානකගේ පන්දුවක් හමුවේ ඒඩ්න් මාක්‍රම් ලකුණු 12 කට දැවී ගියා.

අනතුරුව ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු නොලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවක් කුසල් මෙන්ඩිස් අතින් ගිලිහී යාම ද කැපී පෙනුණා. ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 20(27) ක් රැස් කළ අතර, ට්‍රිස්ටන් ස්ටබ්ස් දැවී ගියේ ලකුණු 13(28) ක් ලබා සිටියදීයි.

හෙන්රික් ක්ලාසන් නොදැවී ලකුණු 19(22) ක් හා ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 6(6) ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 22 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිතිකරුවන්ගේ අසාර්ථකත්වයට ද වඩා නිව් යෝර්ක් ක්‍රීඩාංගනයේ තණතීරු පිළිබද පැහැදිලි අවබෝධයක් නොතිබූ පසුබිමක කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාව ගත් අනුවන තීරණය මෙම තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වීමට ප්‍රධාන වශයෙන් බලපානු ලැබුවා.

කෙසේ වෙතත්, කණ්ඩායමේ ප්‍රධාන ශක්තිය පන්දු යැවීම වන බැවින්, මෙලෙස පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ බවයි නායක වනිදු හසරංග සදහන් කර සිටියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...