ඔස්ට්‍රේලියාවේ දී වැඩ පෙන්නූ ජෝසප්ට පාකිස්තානයෙන් ගිවිසුමක් – ආබාධය නිසා ILT20 අහිමි වෙයි

Date:

ඕස්ට්‍රේලියාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඉහළ දක්ෂතා දක්වමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට විශිෂ්ඨ ජයක් හිමි කර දීමට පෙරමුණ ගත් කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක ශමාර් ජෝසප්ට එළඹෙන පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා වී තිබෙනවා.

ඒ, ඔහු සමග පෙෂාවර් සල්මි කණ්ඩායම ගිවිසුම්ගත වීමත් සමගයි.

ඒ අනුව ශමාර් ජෝසප් පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය ආරම්භයේ සිට අවසානය දක්වාම එම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවනවා.

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ගස් ඇට්කින්සන් වෙනුවටයි අර්ධ ආදේශ කිරීමක් ලෙස ශමාර් ජෝසප් සමග පෙෂාවර් කණ්ඩායම ගිවිසුම්ගත වී ඇත්තේ.

ඇට්කින්සන් මේ වන විට එංගලන්ත සංචිතය සමග ඉන්දියාවේ රැදී සිටින්නේ තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය සදහායි. ටෙස්ට් තරගාවලිය නිමා වීමට නියමිතව ඇත්තේ මාර්තු 11 වැනිදායි.

PSL තරගාවලිය පෙබරවාරි 17 වැනිදා සිට මාර්තු 18 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව බොහෝ විට ගස් ඇට්කින්සන්ට PSL තරගාවලියම ක්‍රීඩා කිරිමට ද නොහැකි වීමට ඉඩ පවතිනවා.

නමුත්, ගස් ඇට්කින්සන් යම් අවස්ථාවක පෙෂාවර් කණ්ඩායම සමග එක් වුවද, ඉන් අනතුරුව ද ශමාර් ජෝසප් සම්පූර්ණ තරගාවලියම අවසන් වනතුරු පෙෂාවර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බව සදහන්.

මේ අතර, ඔස්ට්‍රේලියාවට එරෙහි ගැබා ටෙස්ට් තරගයේ දී මිචෙල් ස්ටක්ගේ යෝකර් පන්දුවක් වැදීමෙන් පාදයක සිදු වූ ආබාධය හේතුවෙන් ශමාර් ජෝසප්ට මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ILT20 තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සංචාරයට පෙර ඔහු අදාළ තරගාවලිය වෙනුවෙන් ඩුබායි කැපිටල්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වූ අතර, ඔස්ට්‍රේලියානු සංචාරයෙන් පසුව ඔහු ILT20 තරගාවලිය සදහා එක්වීමටයි නියමිතව සිටියේ.

නමුත්, ආබාධය නිසා ඔහු යළි සිය රට බලා පිටත්ව යාමට නියමිතයි. අනතුරුව PSL තරගාවලිය වෙනුවෙන් ඔහු පාකිස්තානයට පැමිණෙනු ඇති.

ලීග් තරගවලින් මෙලෙස ආරාධනා ලැබුණ ද, ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව ශමාර් ජෝසප් සදහන් කර සිටියේ තමා කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මුල්තැන ලබා දෙන බවයි.

“කොදෙව්වන් වෙනුවෙන් ක්‍රීඩා කිරීම මගේ සිහිනයයි. මම මේක කියන්න බය නැහැ. මට කොච්චර මුදල් ආවත් කමක් නෑ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ක්‍රීඩා කරන්න මම සැමවිටම සූදානම්. මම හැමදාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන්න එනවා.” යනුවෙන් ජෝසප් සදහන් කර සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...