පන්දුවාර 38.1 දක්වා අවස්ථාවක් තිබ්බා කියලා දැනගෙන හිටියේ නෑ : ඇෆ්ඝනිස්තාන පුහුණුකරු

Date:

පන්දුවාර 37.1 අවසන් වීමෙන් පසුව ද ශ්‍රී ලංකාවට එරෙහි තරගය ජය ගන්නා ආකාරය අනුව ඇෆ්ඝනිස්තානයට ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාවක් පැවැති බවට තම කණ්ඩායම දැන නොසිටි බව ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජොනතන් ට්‍රොට් පවසනවා.

ලාහෝර් ක්‍රීඩාංගනයේ පැවැති මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයේ දී ශ්‍රී ලංකාව හමුවේ ලකුණු දෙකක තියුණු පරාජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමටනම් ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට මෙම තරගයේ ජය පමණක් ප්‍රමාණවත් නොවූ අතර, ශ්‍රී ලංකාවේ ශුද්ධ ලකුණු වේගය අභිබවා තරගාවලියේ මීළග වටයට සුදුසුකම් ලබා ගැනීමට ඔවුන්ට ශ්‍රී ලංකාවෙන් ලද ලකුණු 292 ක ඉලක්කය පන්දුවාර 37.1 ක් අවසානයේ දී සපුරා ගත යුතු වුණා.

පන්දුවාර 37 ක් අවසානයේ දී ඇෆ්ඝනිස්තානය කඩුලු 8ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 289 ක්. ඒ අනුව 38 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේ දී ඇෆ්ඝනිස්තානයට තරගය ජය ගනිමින් සුපිරි 4 වටයට සුදුසුකම් ලැබීමටනම් ලකුණු 3 ක් අවශ්‍ය වුණා.

38 වැනි පන්දුවාරය ධනංජය ද සිල්වා විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ පළමු පන්දුවේ දී මුජීබ් උර් රහ්මන් දැවී ගියා. අනතුරුව ඔවුන් සුපිරි 4 වටයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු අත්හැර ගත් ආකාරයක් දැක ගත හැකි වුණා.

නමුත් පන්දුවාර 37.1 න් පසුව ද ඇෆ්ඝනිස්තානයට ශ්‍රී ලංකාවේ ශුද්ධ ලකුණු වේගය අභිබවා තරගය ජය ගනිමින් සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව පැවැති අතර, ඒ සදහා ඔවුන්ට පන්දුවාර 38.1 දක්වා අවස්ථාව පැවතුණා.

එහිදී ඇෆ්ඝනිස්තානය පන්දුවාර 37.2 කදී ලකුණු 293 ක් ද, පන්දුවාර 37.3 කදී ලකුණු 294 ක් ද‍, පන්දුවාර 37.4 කදී ලකුණු 295 ක් ද, පන්දුවාර 38 කදී ලකුණු 296 ක් ද, පන්දුවාර 38.1 කදී ලකුණු 297 ක් ද ලබා ගත යුතුව තිබුණා.

ඒ අනුව අංක 11 පිතිකරු වූ ෆසල්හක් ෆරූකි 38 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දී හතරේ පහරක් එල්ල කළේ නම් ඇෆ්ඝනිස්තානයට මීළග වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව පැවතුණා. නැතහොත් එම පන්දුවාරයේ තෙවැනි, සිව්වැනි හෝ පස්වැනි පන්දුවේ දී හයේ පහරක් එල්ල කළේනම් ද ඔවුන්ට සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගත හැකිව තිබුණා.

ඇෆ්ඝනිස්ථානය ලකුණු 291 ක් වාර්තා කර පන්දුවාර 38.1 දී හයේ පහරක් එල්ල කරමින් තරගය ජය ගත්තේනම් ද ඔවුන් සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගන්නවා.

නමුත් ඒ පිළිබද කිසිදු අවබෝධයක් නොතිබූ ෆරූකි ඔහු මුහුණ දුන් පළමු පන්දු දෙකට ආරක්ෂිත පහරවල් එල්ල කළ අතර, ඊළග පන්දුවෙන් ඔහු දැවී ගියා.

තරගයෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රධාන පුහුණුකරු ජොනතන් ට්‍රොට් සදහන් කළේ මෙම ගණනය කිරීම් සම්බන්ධයෙන් සිය කණ්ඩායම දැනුවත් කර නොතිබූ බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...