බාබර්ගේ සුපිරි ශතකය හමුවේ ස්ට්‍රයිකර්ස් පිලෙන් සුපිරි හඹා යාමක්

Date:

බාබර් අසාම් වාර්තා කළ සුපිරි ශතකය හමුවේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගයෙන් ගෝල් ටයිටන්ස් කණ්ඩායම පරදා කඩුලු 7 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අද(7) සමත් වුණා.

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ කොළඹ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ගාලු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 3 ක් දැවී ලකුණු 188 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ කණ්ඩායම ඉනිම නිමා වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

අනර්ඝ ශතකයක් වාර්තා කරමින් සිය කණ්ඩායමට ජයග්‍රහනයේ මාවත විවර කර දුන් බාබර් අසාම් පන්දු 59 කින් ලකුණු 104 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 8 ක් ඇතුළත්. මෙය මෙවර තරග වාරයේ දී පිතිකරුවෙකු වාර්තා කළ පළමු ශතකයයි.

බාබර් සමග ඉනිම ආරම්භ කළ පැතුම් නිස්සංක මෙම තරගයේ දී ලකුණු 54 ක් ලබා ගත්තේ පන්දු 40කින්. නුවනිදු ප්‍රනාන්දු ලකුණු 8කට දැවී ගියා.

අවසන් පන්දුවාරයේ පළමු පන්දුවේ දී ම බාබර් අසාම් දැවී ගිය අතර, සෙසු පන්දු 5 තුළ දී තරගය ජය ගැනීමට කොළඹ කණ්ඩායමට ලකුණු 14 ක් ලබා ගත යුතු වුණා.

එවැනි පසුබිමක පිටියට පිවිසි මොහමඩ් නවාස් පන්දු 4 කින් නොදැවී ලකුණු 14 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට ජය තහවුරු කර දුන්නා. ඒ, හයේ පහරක් හා හතරේ පහරක් ද එල්ල කරමින්.

පන්දු යැවීමේ දී ටබ්රයිස් ශම්සි කඩුලු 2 ක් ද, කසුන් රාජිත එක් කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් ටිම් සයිෆර්ට් පන්දු 35 කින් නොදැවී ලකුණු 54 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 4 ක් ද සමගින්.

ආරම්භක පිතිකරුවන් වූ ශෙවෝන් ඩැනියල් ලකුණු 49(31) ක් හා ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 36(19)ක් රැස් කළා. භානුක රාජපක්ෂ ලකුණු 30(31)යි.

පන්දු යැවීමේ දී නසීම් ශාහ්, රමේෂ් මෙන්ඩිස් හා ලක්ෂාන් සදකැන් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...