ක්‍රෙයිග් අර්වින් හා ශෝන් විලියම්ස් රැස් කළ ශතක හේතුවෙන් 2023 අයි.සී.සී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අද(18) සමත් වුණා.
තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයේ දී ඔවුන් හමුවේ කඩුලු 8 කින් පරාජයට පත් වූයේ නේපාල කණ්ඩායමයි.
හරාරේ හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නේපාල කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 290 ක් රැස් කරමින් සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 291 ක අභියෝගයක් එල්ල කළා.
කෙසේ වෙතත්, සිම්බාබ්වේ පිතිකරුවන් පන්දුවාර 44.1 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් වුණා.
ආරම්භක පිතිකරු නායක අර්වින් නොදැවී ලකුණු 121 ක් ලබා ගත්තේ පන්දු 128 කින්. ඒ, හයේ පහරක් හා හතරේ පහර 15 ක් සමගින්.
ඔහුට අනගි සහායක් ලබා දුන් විලියම්ස් නොදැවී ලකුණු 102 ක් වාර්තා කළා. පන්දු 70 ක් පමණක් වැය කරමින් ඔහු වාර්තා කළ මෙම ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 13 ක් ඇතුළත්.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් නේපාලය වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දීමට Kushal Bhurtel හා Aasif Sheikh සමත් වුණේ පළමු කඩුල්ලට ලකුණු 171 ක සම්බන්ධතාවයක් පිහිටුවමින්.
පළමු කඩුල්ල ලෙස Bhurtel ලකුණු 99 කට දැවී ගිය අතර, Aasif Sheikh ලකුණු 66 යි. Kushal Malla ලකුණු 41 ක් හා Rohit Paudel ලකුණු 31 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී Richard Ngarava කඩුලු 4 ක් දවා ගත් අතර, Wellington Masakadza කඩුලු 2 ක් බිද හෙලුවා.

