ඉනිමක ජයක් සමග ශ්‍රී ලංකාව 100 වැනි ටෙස්ට් ජය ලබයි

Date:

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(28) සමත් වුණා. ඒ, දෙරට අතර ගාල්ලේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 10 ක ජයක් වාර්තා කරමින්. පළමු ටෙස්ට් තරගයෙන් ද ශ්‍රී ලංකාව ඉනිමක හා ලකුණු 280 ක ජයක් වාර්තා කළා.

ශ්‍රී ලංකාව අද වාර්තා කළේ ටෙස්ට් ඉතිහාසයේ ලැබූ තම 100 වැනි තරග ජයග්‍රහනයයි. ටෙස්ට් තරග 311 ක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාව එම කඩඉම සපුරා ගත්තා.

දෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනය වූ අද දිනය සදහා තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි අයර්ලන්තය කඩුලු 2 ක් දැවී ලකුණු 54ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 202 ක් පමණයි.

දිනය ආරම්භ කරන විට ඇන්ඩි බල්බර්නි ලකුණු 18 ක් හා හැරී ටෙක්ටර් ලකුණු 7 ක් ලබා කඩුල්ලේ රැදී සිටි අතර, අසිත ප්‍රනාන්දු යොමු කළ කෙටි පන්දුවක් හිස් ආවරණයේ වැදීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන් බල්බර්නි ලකුණු 24 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වුණා. කෙසේ වෙතත්, 5 වැනි කඩුල්ල දැවී යාමෙන් පසුව පිටියට පිවිසි ඔහු ලකුණු 46 කට දැවී ගියා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ හැරී ටෙක්ටර් ලකුණු 85 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහනය ප්‍රමාද කළා. ඒ, හයේ පහර 3 ක් හා හතරේ පහර 8 ක් සමගින්. පීටර් මුවර් ලකුණු 19යි.

දෙවැනි ඉනිමේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ රමේෂ් මෙන්ඩිස් ලකුණු 64කට කඩුලු 5 ක් දවා ගනිමින් අයර්ලන්ත ඉනිම අඩපන කළා. අසිත ප්‍රනාන්දු ලකුණු 30 කට කඩුලු 3 ක් හා ප්‍රභාත් ජයසූරිය ලකුණු 88 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

ප්‍රභාත් අද දිනයේ දී සිය 50 වැනි ටෙස්ට් කඩුල්ල ද දවා ගැනීමට සමත් වුණා. . ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 50 ක් දවා ගත් වේගවත්ම, එනම් අවම තරග සංඛ්‍යාවකින් එම කඩඉම සපුරා ගත් පන්දු යවන්නා වන්නේ ප්‍රභාත් ජයසූරියයි. ඔහු තරග 7කින් එම කඩඉම සපුරා ගත්තා. එමෙන්ම ඔහු අවම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් ටෙස්ට් කඩුලු 50 ක් දවා ගත් දග පන්දු යවන්නා ලෙස ද අද නව ලෝක වාර්තාවක් පිහිටුවනු ලැබුවා. තවද ටෙස්ට් කඩුලු 50 ක් දවා ගත් ලොව සම දෙවැනි වේගවත්ම පන්දු යවන්නා ලෙස ද ප්‍රභාත් ඉතිහාසගත වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 492 ක්. එය ටෙස්ට් ඉනිමකදී ඔවුන් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි. පෝල් ස්ටර්ලින්ග් සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 103 ක් වාර්තා කළ අතර, කර්ටිස් කැම්පර් ලකුණු 111 ක් ලබා ගත්තා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 3 ක් දැවී ලකුණු 704 ක් ලබා සිටියදීයි. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් මුල්පෙල පිතිකරුවන් සිව් දෙනාම ශතක වාර්තා කිරීම කැපී පෙනුණා. දිමුත් කරුණාරත්න (115), නිශාන් මධුෂ්ක (205), කුසල් මෙන්ඩිස් (245) හා ඇන්ජෙලෝ මැතිව්ස් (100*) යන පිතිකරුවන් එලෙස ශතක හා ද්විත්ව ශතක වාර්තා කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...