නවසීලන්තයේ ද්විත්ව ශතක ද්විත්වයෙන් පසු ශ්‍රී ලංකාව අසීරු අඩියක

Date:

කේන් විලියම්සන් හා හෙන්රි නිකල්ස් වාර්තා කළ ද්විත්ව ශතක හා ශ්‍රී ලංකා පළමු ඉනිමේ පළමු කඩුලු 2 අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම හේතුවෙන් නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(18) වෙලින්ටන් හි Basin Reserve ක්‍රීඩාංගනයේ දී නිමා වුණේ තරගයේ සම්පූර්ණ පාලනය නවසීලන්තයට නතු කරමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2 ක් දැවී ලකුණු 26 ක් ලබා සිටියා. නොදැවී පන්දුවට පහර දෙන නායක දිමුත් කරුණාරත්න ලකුණු 16 ක් හා ප්‍රභාත් ජයසූරිය ලකුණු 4 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඕෂද ප්‍රනන්දු ලකුණු 6 කට දවා ගැනීමට මැට් හෙන්රි සමත් වුණා. කඩුලු රකින ක්‍රීඩක ටොම් බ්ලන්ඩල් අතට උඩ පන්දුවක් ලබා දීමෙනුයි ඕෂද දැවී ගියේ.

අනතුරුව කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා සිටියදී දවා ගැනීමට ඩග් බ්‍රේස්වෙල් සමත් වුණා. ඩෙවෝන් කොන්වේ රැක ගත් සුපිරි උඩ පන්දුවක් හේතුවෙනුයි මෙන්ඩිස් දැවී ගියේ. (දර්ශන පහතින් නරඹන්න)

අද දිනය ආරම්භ කරන විට තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්තය කඩුලු 2 ක් දැවී ලකුණු 155 ක් ලබා සිටි අතර, ඔවුන් සිය ඉනිම අත්හිටුවීමට අද තීරණය කළේ කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක් ලබා සිටියදීයි.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 554 ක්.

හෙන්රි නිකල්ස් නොදැවී ලකුණු 200 ක් වාර්තා කළේ පන්දු 240 කින්. හයේ පහර 4 ක් හා හතරේ පහර 15 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා. නිකල්ස් ලකුණු 6ක් ලබා සිටියදී හා ලකුණු 92 ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දු දෙකක් නිශාන් මදුෂ්ක හා ධනංජය ද සිල්වා අතින් ගිලිහී ගිය පසුබිමකයි ඔහු මෙම නොදැවුණු ද්විත්ව ශතකය වාර්තා කළේ.

කේන් විලියම්සන් ලකුණු 215 ක් ලබා ගත්තා. පන්දු 296 කින් වාර්තා වූ එම ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 23 ක් ඇතුළත් වුණා.

ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 363 (467) ක්.

ඩැරල් මිචෙල් ලකුණු 17 කට දවා ගැනීමට කසුන් රාජිත සමත් වුණේ ඔහු විසින්ම විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගනිමින්.(දර්ශන නැරඹීමට මෙතන ක්ලික් කරන්න) ටොම් බ්ලන්ඩන් නොදැවී ලකුණු 17 යි.

ආරම්භක පිතිකරු ටොම් ලේතම් ලකුණු 21 කට දවා ගැනීමට කසුන් රාජිත ඊයේ සමත් වුණා. ඩෙවෝන් කොන්වේ ලකුණු 78 කට දැවී ගියේ ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...