සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ එක්දින ක්රිකට් තරගාවලිය අවලංගු කර තිබෙනවා.
ඒ, කොවිඩ් 19 රෝගයෙන් තරගාවලියට එල්ල වී ඇති සියලු බලපෑම් සැලකිල්ලට ගනිමින්.
මේ වන විට අයර්ලන්ත කණ්ඩායමේ සහාය කාර්යය මණඩල සාමාජිකයින් දෙදෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගෙන තිබෙනවා.
අයර්ලන්ත කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයක නිරත වීමට ද නියමිතව ඇති අතර, ඔවුන් එළඹෙන 31 වනදා ෆ්ලොරිඩා සිට ජැමයිකාව දක්වා ගමන් කිරීමට නියමිතයි.
කෙසේ වෙතත්, වෛරසය ආසාදනය වූවන් දෙදෙනා හුදකලාව පසුවිය යුතු කාලසීමාව අවසන් වන තුරු ෆ්ලොරිඩාහි රැදී සිටිනු ඇති.
අයර්ලන්ත කණ්ඩායමේ අමෙරිකානු තරග සංචාරය ඉතිහාසයට එක් වුණේ ටෙස්ට් වරම් හිමි රටක් ඇමෙරිකාව සමග ද්විපාර්ශ්වික තරගාවලියක් ක්රීඩා කිරීම සදහා එරටට පැමිණි පළමු අවස්ථාව ලෙසයි.
දෙරට අතර පැවැති 20යි 20 තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් වූ අතර, පළමු එක්දින තරගය විනිසුරුවරයෙකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් අවලංගු කෙරුණා.
අනතුරුව 28 වනදා පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින තරගය අද(29) දක්වා කල් දැමීමට පියවර ගත්තේ ක්රීඩකයින් හා සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින් අතරින් කොවිඩ් 19 ආසාදිතයින් කිහිප දෙනෙකු හදුනා ගැනීම හේතුවෙන්.
කෙසේ වෙතත්, සමස්ත තරගාවලියම අවලංගු කිරීමටයි මේ වන විට පියවර ගෙන ඇත්තේ.

