2024 T20 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වෙයි

Date:

බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිත 2024 කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හා අයර්ලන්තයට අහිමි වී තිබෙනවා.

ඒ, නිමා වූ කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ දී ඔවුන් ක්‍රීඩා කළ කාණ්ඩවල පළමු ස්ථාන 3 අතරට පිවිසීමට ශ්‍රී ලංකාවට හා අයර්ලන්තයට නොහැකි වීම හේතුවෙන්.

මෙවර ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව පළමු කාණ්ඩයෙන් තරග වැදුණු අතර, එම කාණ්ඩයට ඇතුළත්ව සිටි දකුණු අප්‍රිකාව, නවසීලන්තය හා ශ්‍රී ලංකාව තරග දෙක බැගින් ජය ගනු ලැබුවා.

කෙසේ වෙතත්, දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකාවට හිමි වූයේ සිව්වැනි ස්ථානයයි.

ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, එංගලන්තය, ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් යන රටවල් ඒ ඒ කාණ්ඩවල පළමු ස්ථාන 3 හිමි කර ගත් බැවින් 2024 ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

අයර්ලන්තයට දෙවැනි කාණ්ඩයේ අවසන් ස්ථානය හිමි වූයේ ක්‍රීඩා කළ තරග හතරම පරාජයට පත් වූ බැවින්.

කෙසේ වෙතත්, පළමු කාණ්ඩයෙන් ක්‍රීඩා කර සියලු තරග පරාජයට පත් වූ බංග්ලාදේශය 2024 කාන්තා 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක රට බැවින් එම ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගෙන තිබෙනවා.

පෙබරවාරි 27 වැනිදා වන විට 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානයේ රැදී සිටි බැවින් පාකිස්තානය ද මීළග 20යි 20 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගත්තා.

ඒ අනුව 2023 ලෝක කුසලානයට එක් වූ රටවල් අතරින් 2024 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් නොලැබූ රටවල් වන්නේ ශ්‍රී ලංකාව (ශ්‍රේණිගත කිරීම්හි 8 වැනියා) හා අයර්ලන්තය (ශ්‍රේණිගත කිරීම්හි 10 වැනියා) පමණයි.

එම කණ්ඩායම් දෙකට මෙම වසර අවසානයේ දී පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියකට ක්‍රීඩා කිරීමට සිදු වන අතර, එම තරගාවලියේ පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් දෙක 2024 කාන්තා 20යි 20 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...