හැරී බෘෘක්ට වසර දෙකක IPL තහනමක් පැනවෙන ලකුණු

Date:

එංගලන්ත ක්‍රීඩක හැරී බෘෘක් 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ඒ, එළඹෙන අයි.පී.එල් තරගාවලිය ආරම්භ වීමට තවත් දින කිහිපයක් පමණක් ඉතිරිව ඇති පසුබිමකයි.

එසේ වුවහොත් නවතම අයි.පී.එල් නීතිවලට අනුව ඔහුට එරෙහිව වසර දෙකක අයි.පී.එල් තහනමක් පැනවීමට ද ඉඩ තිබෙනවා.

2024 අයි.පී.එල් තරගාවලියේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි ඔහු මේ ආකාරයෙන්ම එම තරගාවලිය ආරම්භ වීමට ද දින කිහිපයකට පෙර තරගාවලියෙන් ඉවත් වීමට කටයුතු කළා.

පසුගිය නොවැම්බර් මාසයේදී පැවැති අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින්ම ඉන්දීය රුපියල් කෝටි 6.25 ක ලංසු මුදලකටයි හැරී බෘෘක් මිලදී ගැනීමට කටයුතු කළේ.

බෲක් තරගාවලියෙන් ඉවත් වීමට ගත් තීරණය එංගලන්ත ක්‍රිකට් බලධාරීන් විසින් පසුගිය සතියේදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත දැනුම් දී ඇති බව සදහන්. පසුව එම තීරණය දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙත යොමු කර තිබෙනවා.

ඔහුගේ මෙම තීරණයට හේතුව පිළිබද නිල තොරතුරු මෙතෙක් වාර්තා වී නැහැ. නමුත්, ඔහු සිය කාර්යය ප්‍රමාණය (workload) කලමනාකරණය කර ගැනීමේ අරමුණින් මෙලෙස තරගාවලියෙන් ඉවත්ව ඇති බවක් අනුමාන කළ හැකියි.

ශූරයින්ගේ කුසලාන තරගාවලියෙන් පසුව එංගලන්ත සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට ජොස් බට්ලර් තීරණය කළ අතර, ඒ අනුව හැරී බෘෘක් එංගලන්ත සුදු පන්දු කණ්ඩායමේ මීලග නායකයා ලෙස පත් වීමට ද බොහෝ දුරට ඉඩ තිබෙනවා.

මෙලෙස අවසන් මොහොතේදී ක්‍රීඩකයින් අයි.පී.එල් තරගාවලිය අත්හැර දැමීම අතීතයේ සිටම බොහෝ අවස්ථාවලදී සිදු වූවක්. ඒ හේතුවෙන් අයි.පී.එල් කණ්ඩායම් විසින් සිදු කළ යෝජනා සැලකිල්ලට ගනිමින් මෙවර තරගාවලියේ සිට නව නීති හදුන්වා දීමට ද අයි.පී.එල් සංවිධායකයින් පියවර ගත්තා.

ඒ අනුව මේ ආකාරයෙන් තරගාවලියෙන් ඉවත්වීමට යම් ක්‍රීඩකයෙකු කටයුතු කළහොත් ඔහුට එරෙහිව වසර දෙකක අයි.පී.එල් තහනමක් පැනවීමට අයි.පී.එල් සංවිධායකයින්ට හැකියාව ලැබෙනවා.

එවැනි තහනමකින් ක්‍රීඩකයෙකුට ගැළවිය හැකි වන්නේ ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වන අවස්ථාවකදී පමණයි.

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මාර්තු 22 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...