චන්දිමාල්, සදකැන් හා වනිදුගේ සටන අපතේ යවමින් තරගාවලියේ ජය කොදෙව්වන්ට

Date:

ශ්‍රී ලංකාව සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි සහ අවසන් 20යි 20 තරගයෙන් කොදෙව්වන් කඩුලු 3ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඇන්ටිගුවාහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 131ක් පමණයි.

ඉනිමේ දැවී ගිය කඩුලු 4 ලකුණු 46ක්ව තිබියදී බිද වැටුණා.

ධනුෂ්ක ගුණතිලක පන්දු 9ක් තුළ ලකුණු 9කටත්, පැතුම් නිස්සංක පන්දු 13ක් තුළ ලකුණු 5කටත්, නිරෝෂන් දික්වැල්ල පන්දු 6ක් තුළ ලකුණු 4කටත්, නායක ඇන්ජෙලෝ මැතිව්ස් පන්දු 11ක් තුළ ලකුණු 11කටත් දැවී ගියා.

අනතුරුව පස්වන කඩුල්ල වෙනුවෙන් පන්දු 66කින් ලකුණු 85ක වාර්තාගත නොබිදුණු සබදතාවයක් ගොඩ නැගීමට දිනේෂ් චන්දිමාල් සහ අශේන් බණ්ඩාර සමත් වුණා.

සිය 5 වන ජාත්‍යන්තර 20යි 20 අර්ධ ශතකය වාර්තා කළ චන්දිමාල් නොදැවී ලකුණු 54ක් සහ අශේන් බණ්ඩාර නොදැවී ලකුණු 44ක් රැස් කළා.

ඔවුන් දෙදෙනා අතර ගොඩනැගුණු සබදතාවය ශ්‍රී ලංකාව වෙනුවෙන් 20යි 20 ජාත්‍යන්තර තරගයකදී පස්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණු හොදම සබදතාවයයි.

පන්දු යැවීමේ දී කොදෙව්වන් වෙනුවෙන් ෆේබියන් ඇලන්, කෙවින් සින්ක්ලෙයාර්, ජේසන් හෝල්ඩර් සහ ඔබෙඩ් මැකෝයි කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 134ක් ලබා ගනිමින් ජය වාර්තා කළා.

පළමු කඩුල්ල වෙනුවෙන් එවින් ලුවිස් සහ ලෙන්ඩ්ල් සිමන්ස් පන්දුවාර 4.4ක් තුළ ලකුණු 37ක සබදතාවයක් ගොඩ නැගුවා.

ලුවිස් ලකුණු 21කටත්, සිමන්ස් ලකුණු 26කටත් දවා ගැනීමට වනිදු හසරංග සමත් වුණේ සීමිත පන්දුවාර තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඔහුගේ සේවය කොපමණ වැදගත්දැයි යළි යළිත් සනාථ කරමින්.

නායක කිරන් පොලාඩ් ලකුණු නොලබා දැවී ගිය අතර, නිකලස් පූරාන් ලකුණු 23ක් සහ ක්‍රිස් ගේල් ලකුණු 13ක් රැස් කළා.

ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 14ක් සහ ෆේබියන් ඇලන් නොදැවී ලකුණු 21ක් රැස් කරමින් කොදෙව්වන්ට ජය තහවුරු කර දුන්නා.

කොදෙව්වන්ට අවසන් පන්දු 12 තුළ ජයග්‍රහනය සදහා ලකුණු 20ක් ලබා ගත යුතුව තිබූ අතර, 19 වැනි පන්දුවාරයේ දී අකිල ධනංජයට එරෙහිව ලකුණු 22ක් ලබා ගනිමින් ඔවුන් තරගයේ ජය හිමි කර ගැනීම විශේෂත්වයක්.

පන්දු යැවීමේ දී ලක්ෂාන් සදකැන් ලකුණු 29කට කඩුලු 3ක් බිද හෙලුවා.

වනිදු හසරංග ලකුණු 13කට කඩුලු 2ක් සහ දුෂ්මන්ත චමීර ලකුණු 23කට කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ වීරයා ලෙස ෆේබියන් ඇලන් සම්මානයෙන් පිදුම් ලැබූ අතර, තරගාවලියේ වීරයා ලෙස වනිදු හසරංග සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...