ෂෙපර්ඩ්ගේ ප්‍රහාරය හා අල්සාරිගේ කඩුලු පහ කොදෙව්වන්ට තරගාවලි ජයක් ‌හිමි කර දෙයි

Date:

රොමාරියෝ ෂෙපර්ඩ් පන්දු 22 කින් නොදැවී රැස් කළ වේගවත් ලකුණු 44 හා ඔහු සමග 9 වැනි කඩුල්ල සදහා අල්සාරි ජෝසප් ගොඩ නැගූ ලකුණු 59 (පන්දු 26 කින්) ක සම්බන්ධතාවය මෙන්ම පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් ලකුණු 40 කට බිද හෙලූ කඩුලු පහ හේතුවෙන් දකුණු අප්‍රිකාව සමග පැවැති තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 7 ක ජයක් වාර්තා කරමින් 20යි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ජොහැනස්බර්ග් හී දී මෙරට වේලාවෙන් අද(29) අලුයම නිමා වූ තරගය ජය ගැනීම සදහා ලකුණු 221 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවට පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 213 ක් පමණයි.

රීසා හෙන්ඩ්‍රික්ස් පන්දු 44 කින් ලකුණු 83 ක් ලබා ගත්තේ හයේ පහර 2 ක් හා හතරේ පහර 11 ක් සමගින්. රයිලි රොසෝව් පන්දු 21 කින් ලකුණු 42 ක් ද, නායක ඒ්ඩ්න් මාක්‍රම් පන්දු 18 කින් නොදැවී ලකුණු 35 ක් ද ලබා ගත් නමුත් එය ජයග්‍රහනය සදහා ප්‍රමාණවත් වූයේ නැහැ.

ක්වෙන්ටන් ඩී කොක් (ලකුණු 21), රීසා හෙන්ඩ්‍රික්ස්, ඩේවිඩ් මිලර් (ලකුණු 11), හෙයින්රික් ක්ලාසෙන් (ලකුණු 6) හා වේන් පාර්නෙල් (ලකුණු 2) යන පිතිකරුවන් දවා ගනිමිනුයි අල්සාරි ජෝසප් සිය කඩුලු පහ සම්පූර්ණ කළේ. එය ඔහු 20යි 20 ජාත්‍යන්තර තරගයකදී කඩුලු 5 ක් බිද හෙලූ පළමු අවස්ථාවයි.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් ආරම්භයේ සිටම පන්දුවාරයකට ඉහළ ලකුණු ලබා ගැනීමේ වේගයක් පවත්වා ගෙන ගිය ද, ඔවුන්ගේ කඩුලු ඉක්මණින් දැවී යාම හේතුවෙන් ඔවුන්ට පන්දුවාර 20 ක්‍රීඩා කිරීමට ද නොහැකි වන අවධානමක් මතුව තිබුණා.

කොදෙව් ඉනිමේ 8 වැනි කඩුල්ල පන්දුවාර 15.4 කදී බිද වැටුණේ මුළු ලකුණු සංඛ්‍යාව 161 ක් ලෙස සටහන්ව තිබියදීයි. ඉන් අනතුරුවයි ජෝසප් හා ෂෙපර්ඩ් 9 වැනි කඩුල්ලට වේගවත් සම්බන්ධතාවයක් ගොඩ නගමින් කොදෙව්වන් ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියේ.

ජෝසප් නොදැවී ලකුණු 14 යි (පන්දු 9). ෂෙපර්ඩ් නොදැවී වාර්තා කළ ලකුණු 44 ට හයේ පහර 3 ක් හා හතරේ පහර 2 ක් ඇතුළත්. කොදෙව් ඉනිම වෙනුවෙන් නිකලස් පූරාන් පන්දු 19 කින් ලකුණු 41 ක් රැස් කළේ හයේ පහර 4 ක් හා හතරේ පහර 2 ක් සමගින්. බ්‍රෙන්ඩන් කිංග් ලකුණු 36 (25) යි.

පන්දු යැවීමේ දී ලුන්ගි එන්ගිඩී, කාගිසෝ රබාඩා හා අන්රික් නොකියා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...