ශ්‍රී ලංකා-පාකිස්තාන තරගයට වැස්සොත් මොකද වෙන්නේ?

Date:

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම තවත් තීව්‍ර කරමින් තරගාවලිය මේ වන විට අවසන් අදියර දක්වා පැමිණ තිබෙනවා.

එළඹෙන ඉරිදා පැවැත්වෙන තරගාවලියේ අවසන් තරගයට මේ වන විටත් ඉන්දියාව සුදුසුකම් ලබා ඇති අතර, බංග්ලාදේශයට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඒ, සුපිරි 4 වටය යටතේ ඊයේ(12) ශ්‍රී ලංකාව සමග පැවැති තරගයෙන් ඉන්දියාව ලකුණු 41 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඒ අනුව අවසන් තරගය සදහා ඉන්දියාවට එරෙහිව සුදුසුකම් ලැබීමට මේ වන විට අවස්ථාව පවතින්නේ ශ්‍රී ලංකාවට හෝ පාකිස්තානයට පමණයි.

එවන් පසුබිමක තරගාවලියේ තීරණාත්මක තරගයක් ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර හෙට(14) කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගන්නවා.

මේ වන විට සුපිරි 4 වටයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ඉන්දියාව ප්‍රසාද ලකුණු 4 ක් සමග පෙරමුණේ පසුවන්නේ +2.690 ක ශුද්ධ ලකුණු වේගයකට හිමිකම් කියමින්.

ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 2 ක් සමග දෙවැනි ස්ථානයේ රැදී සිටින අතර, පාකිස්තානය ද ප්‍රසාද ලකුණු දෙකකට හිමිකම් කියනවා. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට වඩා අවම ශුද්ධ ලකුණු වේගයක් පාකිස්තානයට හිමිව ඇති බැවින් ඔවුන්ට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි.

ශ්‍රී ලංකාවේ ශුද්ධ ලකුණු වේගය -0.200 ක් ලෙස සටහන්ව ඇති අතර, පාකිස්තානයේ ශුද්ධ ලකුණු වේගය -1.892 ක් ලෙසයි දැක්වෙන්නේ.

හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා-පාකිස්තාන තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව අවසන් වුවහොත් කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමි වනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට ශුද්ධ ලකුණු වේගය අනුව පාකිස්තානයට වඩා ඉදිරියෙන් පසුවන බැවින් ඉන්දියාවට එරෙහිව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි වනු ඇති.

ශ්‍රී ලංකා-පාකිස්තාන තරගය හෙට පස්වරු 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...