ශෆික්ගේ ද්විත්ව ශතකය හා සල්මන්ගේ නොදැවුණු ශතකය ශ්‍රී ලංකාව අන්ත අසරණ කරයි

Date:

අබ්දුල්ලාහ් ශෆික් වාර්තා කළ සිය පළමු ද්විත්ව ශතකය හා ආගා සල්මන්ගේ ශතකය හමුවේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද (26) නිමා වුණේ තරගයේ සම්පූර්ණ පාලනය පාකිස්තානයට නතු කරමින්.

අද දිනය සදහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 2 ක් දැවී ලකුණු 178 ක් ලබා සිටි අතර, අද දිනය සදහා තරගය නතර කරන විට ඔවුන් කඩුලු 5 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 563 ක්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ආගා සල්මන් සිය දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 132 ක් ද, මොහමඩ් රිස්වාන් ලකුණු 37 ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ඔවුන් දෙදෙනා මේ වන විට නොබිදුණු ලකුණු 95 (113) ක සම්බන්ධතාවයක් ගොඩ නගා තිබෙනවා.

අද දිනයට තරගය ආරම්භ වූ අවස්ථාවේ සිට දිවා ආහාරය දක්වා වූ කාලයේ දී පාකිස්තානය පන්දුවාර 32.3 ක් තුළ කඩුල්ලක් දැවී ලකුණු 95 ක් ලබා ගැනීමට සමත් වූ අතර, දිවා ආහාරයේ සිට තේ පානය දක්වා වූ කාලයේ දී ඔවුන් පන්දුවාර 28 කදී කඩුල්ලක් දැවී ලකුණු 124 ක් රැස් කළා. අනතුරුව තේ පානයේ සිට තරගය අද දිනයට නතර කරන අවස්ථාව දක්වා වූ කාලයේ දී පන්දුවාර 33 කදී පාකිස්තානය කඩුල්ලක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 166 ක්.

පාකිස්තාන ඉනිමේ නැංගුරම බවට පත් වූ අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 201 ක් ලබා ගත්තා. පන්දු 326 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 19 ක් ඇතුළත්. ඔහු දැවී ගියේ පාකිස්තාන ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේයි.

අද දිනයේ පළමු කඩුල්ල ලෙස නායක බාබර් අසාම් දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වුණා. ඔහු ලකුණු 39 ක් ලබා සිටියදීයි ප්‍රභාත්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී දැවී ගියේ. බාබර් හා ශෆික් අතර තෙවැනි කඩුල්ලට ලකුණු 89 (157)ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

අනතුරුව ශෆික් හා සවුද් ශකීල් අතර සිව්වැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 109 ක්. ශකීල් ලකුණු 57 ක් ලබා සිටියදී දැවී ගියේ අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේයි.

අසිත ප්‍රනාන්දු යොමු කළ කෙටි පන්දුවක් හිස් ආවරණයේ වැදීමෙන් පසුව ඇති වූ කම්පන තත්ත්වයක් හේතුවෙන් සර්ෆරාස් අහ්මඩ් ලකුණු 14 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වුණා. අනතුරුව ඔහු වෙනුවට මොහමඩ් රිස්වාන් කණ්ඩායමට ආදේශ කිරීමටයි පියවර ගැණුනේ. පාකිස්තාන ඉනිමේ 5 වැනි කඩුල්ල දැවී යාමෙන් පසුවයි රිස්වාන් පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ.

පාකිස්තාන ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් ලකුණු 6කට දැවී ගිය අතර, ශාන් මසූඩ් ලකුණු 51 ක් රැස් කළා. පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුලු 3 ක් හා ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 ක් බිද හෙලා තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166 ක් පමණයි. ධනංජය ද සිල්වා ලකුණු 57 ක් ලබා ගත් අතර, දිනේෂ් චන්දිමාල් ලකුණු 34 යි. පන්දු යැවීමේ දී අබ්‍රාර් අහ්මඩ් ලකණු 69 කට කඩුලු 4 ක් හා නසීම් ශාහ් ලකුණු 41 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

ඒ අනුව පාකිස්තානය මේ වන විට පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 397 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...