ශකීල්ගේ ද්විත්ව ශතකය තරගයේ පාලනය පාකිස්තානයට නතු කරයි ; ශ්‍රී ලංකාව 135 ක් පිටුපසින්

Date:

සවුද් ශකීල් වාර්තා කළ නොදැවුණු ද්විත්ව ශතකය හමුවේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(18) නිමා වුණේ තරගයේ පාලනය පාකිස්තානයට හිමි කරමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 14 ක් ලබා සිටියා. දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 6 ක් හා නිශාන් මදුෂංක නොදැවී ලකුණු 8 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

අද දිනය සදහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 5 ක් දැවී ලකුණු 221 ක් ලබා සිටි අතර, පාකිස්තානය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 461 ක්. ඒ, ලකුණු 101 ට කඩුලු 5 ක් දැවී ගොස් තිබූ පසුබිමකයි.

අනතුරුව සවුද් ශකීල් හා ආගා සල්මාන් අතර 6 වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 177 (218) ක්.

අද දිනයේ පළමු කඩුල්ල ලෙස සල්මාන් පන්දු 113 කින් ලකුණු 83 ක් ලබා සිටියදී දැවී ගියේ රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට හසු වෙමින්.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ සවුද් ශකීල් නොදැවී ලකුණු 208 ක් ලබා ගත්තේ පන්දු 361 කට මුහුණ දෙමින්. ශකීල්ගේ ඉනිමට හතරේ පහර 19 ක් ඇතුළත්. මෙය පාකිස්තාන පිතිකරුවෙකු මෙරට දී වාර්තා කළ පළමු ද්විත්ව ශතකය වීම විශේෂත්වයක්. ශකීල් අද වාර්තා කළේ සිය දෙවැනි ටෙස්ට් ශතකය හා පළමු ද්විත්ව ශතකයයි.

නෝමන් අලී ලකුණු 25 (57) කටත්, ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 9 (14)කටත්, නසීම් ශාහ් ලකුණු 6 (78)කටත්, අබ්‍රාර් අහ්මඩ් ලකුණු 10 (12) කටත් අද දැවී ගියා.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් ශකීල් හා නෝමන් අලී අතර 7 වැනි කඩුල්ල සදහා ලකුණු 52 (104) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණු අතර, ශකීල් හා නසීම් ශාම් අතර 9 වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 94 (243) ක්.

පාකිස්තාන ඉනිම වෙනුවෙන් ශාන් මසූඩ් ලකුණු 39 ක් හා අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 19 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් කඩුලු 5 ක් දවා ගත්තේ ලකුණු 136 ක් ලබා දෙමින්. ප්‍රභාත් ජයසූරිය කඩුලු 3 ක් දවා ගත් අතර, කසුන් රාජිත හා විශ්ව ප්‍රනාන්දු අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 312 ක් රැස් කළා. ධනංජය ද සිල්වා සිය 10 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 122 ක් ලබා ගත්තා. ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 64 යි. පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි, නසීම් ශාහ් හා අබ්‍රාර් අහ්මඩ් කඩුලු 3 බැගින් දවා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට දෙවැනි ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 135 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...