වර්ෂාව හා අවසන් කඩුල්ලේ නොබිදුණු සම්බන්ධතාවය ඉන්දියාව පරාජයෙන් ගලවන ලකුණු

Date:

ජස්ප්‍රිට් බුම්රා හා ආකාශ් දීප් අවසන් කඩුල්ල වෙනුවෙන් ගොඩ නගා ඇති ලකුණු 39 ක නොබිදුණු සම්බන්ධතාවය හමුවේ ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී අඛණ්ඩව සිය දෙවැනි ඉනිම ද ක්‍රීඩා කිරීමට සිදු වීමේ අවධානමෙන් ගැලවීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද(17) සමත් වුණා.

වර්ෂාවෙන් තරගයේ සිව්වැනි දිනය වූ අද දිනය සදහා ද දැඩි බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 57.5 ක් පමණයි. දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 4 ක් දැවී ලකුණු 51 ක් ලබා සිටි අතර, දිනය නිමා වන විට ඔවුන් කඩුලු 9ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 252 ක්.

ඒ අනුව හෙට දිනය පමණක් මේ වන විට තරගයේ ඉතිරිව ඇති බැවින් ඔස්ට්‍රේලියාවට මේ වන විට තරගය ජය ගැනීම සදහා ඇති අවස්ථාව ඉතා සීමිත වී තිබෙනවා. ජොෂ් හේසල්වුඩ් අද දිනයේදී පාදයක ආබාධයකට ද ලක් වූ අතර, ඔහුට මෙම තරගයෙන් මේ වන විට ඉවත් වීමට සිදු වීම ද ඔස්ට්‍රේලියාවට දැඩි අභියෝගයක් එල්ල කර තිබෙනවා.

අද දිනයේ පළමු පන්දුවෙන්ම කේ.එල් රාහුල් ලබා දුන් උඩ පන්දුවක් ස්ලිප්හි පන්දු රකිමින් සිටි ස්ටීවන් ස්මිත් අතින් ගිලිහී ගිය අතර, දිනයේ පළමු කඩුල්ල ලෙස රෝහිත් ෂර්මා දැවී ගියේ ලකුණු 10 ක් ලබා සිටියදීයි.

අනතුරුව රාහුල් හා රවීන්ද්‍ර ජඩේජා අතර 6 වැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 67 (115) ක්. තමා අතින් වූ වරද නිවැරැදි කර ගත් ස්මිත්, රාහුල් ලකුණු 84 ක් ලබා සිටියදී නේදන් ලයන්ගේ පන්දුවක් හමුවේ ලබා දුන් උඩ පන්දුවක් ස්ලිප්හි පන්දු රකිමින් සිටියදී අති විශිෂ්ඨ අන්දමින් රැක ගැනීමට සමත් වුණා.

නිටිෂ් කුමාර් ලකුණු 16 කටත්, මොහමඩ් සිරාජ් එක් ලකුණකටත්, ජඩේජා ලකුණු 77 කටත් දැවී ගියා. 9 වැනි කඩුල්ල ලකුණු 213 දී දැවී ගිය අතර, ඉන්දියාවට පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවධානමෙන් මිදීමටනම් ඔවුන්ට ලකුණු 246 ක් ලබා ගත යුතුව තිබුණා.

එවන් පසුබිමකයි බුම්රා නොදැවී ලකුණු 10 ක් හා ආකාෂ් නොදැවී ලකුණු 27 ක් ලබා ගනිමින් ඉන්දියාව එම අවධානමෙන් ගලවා ගැනීමට මේ වන විට සමත්ව ඇත්තේ.

පන්දු යැවීමේදී පැට් කමින්ස් ලකුණු 80 කට කඩුලු 4 ක් දවා ගත් අතර, මිචෙල් ස්ටක් ලකුණු 83 කට කඩුලු 3 ක් දවා ගත්තා.

බ්‍රිස්බේන්හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 445 ක් ලබා ගත්තා. මේ වන විට ඉන්දියාව පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 193 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...