වරද පිළිගත් ජඩේජාට එරෙහිව අයි.සී.සීයෙන් දඩ සහ දඩුවම් ලකුණක්

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී අයි.සී.සී විනය නීති සංග්‍රහය උල්ලංඝනය කරමින් එහි පළමු මට්ටමේ වරදක් සිදු කිරීම හේතුවෙන් ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට එරෙහිව තරග ගාස්තුවෙන් 25% ක දඩ මුදලක් නියම කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පියවර ගෙන තිබෙනවා.

අයි.සී.සී ක්‍රීඩක විනය නීති සංග්‍රහයේ 2.20 වගන්තිය ඔහු විසින් උල්ලංඝනය කර ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

එනම්, ක්‍රීඩාවේ ජීව ගුණයට පටහැනි වන අන්දමෙන් කටයුතු කිරීම ඔහුට එල්ල වූ චෝදනාව වනවා.

දඩ මුදලට අමතරව ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් ද ඇතුළත් කිරීමට අයි.සී.සීය පියවර ගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේ 46 වැනි පන්දුවාරයේ දී ජඩේජා විසින් යම් අලේපන වර්ගයක් සිය වම් අතෙහි ඇගිල්ලක අලේප කරනු දක්නට ලැබුණා.

මොහමඩ් සිරාජ් විසින් මෙම අලේපනය ඔහු වෙත ලබා දුන් අතර, ඊට අදාළ වීඩියෝව ලොව පුරා බොහෝ දෙනෙකුගේ දැඩි අවදානයකට ද ලක් වුණා. බොහෝ පාර්ශව විසින් ඔහුට චෝදනා කර සිටියේ රවීන්ද්‍ර ජඩේජා එම අවස්ථාවේ දී පන්දුව පළුදු කිරීමට උත්සාහ දරා ඇති බවටයි.

කෙසේ වෙතත්, ඉන්දීය කණ්ඩායමේ කළමනාකාරීත්වය විසින් මෙම සිද්ධිය පැහැදිලි කරමින් කරුණු ඉදිරිපත් කර තිබුණේ රවීන්ද්‍ර ජඩේජා විසින් සිය පන්දු යවන අතේ ඇගිල්ලක ඉදිමීමකට මෙම අලේපනය යෙදීමට කටයුතු කළ බවටයි.

නමුත්, ඔහු විසින් එය සිදු කර තිබුණේ විනිසුරුවරුන්ගෙන් අවසර ගැනීමකින් තොරවයි.

රවීන්ද්‍ර ජඩේජා විසින් සිය වරද හා තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් විසින් ලබා දුන් දඩුවම පිළිගෙන ඇති බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු වන්නේ නැහැ.

ජඩේජා විසින් අදාළ අලේපනය යොදා ගෙන ඇත්තේ වෛද්‍ය ප්‍රතිකාරයක් ලබා ගැනීමේ අරමුණින් බවත්, ඒ අනුව ඒ ඔස්සේ පන්දුවේ ස්වභාවය වෙනස් කරමින් පන්දුව පළුදු කිරීමට ඔහු උත්සාහ දරා නොමැති බවත්, තරග තීරකවරයා විසින් තහවුරු කර ගෙන ඇති බැවින් ජඩේජාට එරෙහිව අයි.සී.සී නිති සංග්‍රහයේ 41.3 වගන්තිය ඔස්සේ පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ල කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...