කාගිසෝ රබාඩාගේ සුපිරි පන්දු යැවීමත්, භානුක රාජපක්ෂ හා ශිකර් ධවාන් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 59කින් ගොඩ නැගූ ලකුණු 87ක සබදතාවයෙනුත් ශක්තිමත් වෙමින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 48 වැනි තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම අද(3) සමත් වුණා.
මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමයි.
තරගය ජය ගැනීම සදහා හිමි වූ ලකුණු 144 ක ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී සිටියදී පසු කර යාමට පංජාබ් කණ්ඩායම මෙම තරගයේ දී සමත් වුණේ පන්දුවාර 16ක් පමණක් වැය කරමින්.
ජොනී බෙයාර්ස්ටව් මෙම තරගයේ දී ඉනිම ආරම්භ කළ නමුත්, ඔහු යළිත් අසාර්ථක වෙමින් එක් ලකුණකට දැවී ගියා.
ශිකර් ධවාන් පන්දු 53කින් නොදැවී ලකුණු 62ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට සමත් වුණා.
එක් හයේ පහරක් හා හතරේ පහර 8ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.
ඔහුට අනගි සහායක් ලබා දෙමින් පන්දු 28කින් වේගවත් ලකුණු 40ක් රැස් කිරීමට භානුක සමත් වුණේ හයේ පහරක් හා හතරේ පහර 5ක් සමගින්.
භානුකගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි ලියම් ලිවින්ග්ස්ටන් පන්දු 10ක් පමණක් වැය කර වේගවත් ලකුණු 30ක් නොදැවී වාර්තා කිරීම කැපී පෙනුණා.
ඔහුගේ ඉනිම හයේ පහර 3කින් හා හතරේ පහර 2කින් වර්ණවත් වුණා. ලිවින්ග්ස්ටන් එල්ල කළ එක් හයේ පහරක් මීටර් 117ක් දුරට ඇදී යමින් ක්‍රීඩාංගනයෙන් ඉවතට ඇදී යාම බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානයට යොමු වූ සිදුවීමක් බවට පත් වුණා.
එම හයේ පහර මෙවර අයි.පී.එල් තරග වාරයේ දී පිතිකරුවෙකු එල්ල කළ දැවැන්තම හයේ පහර වීම විශේෂත්වයක්. (දර්ශන පහතින්)
පන්දු යැවීමේ දී මොහොමඩ් ෂාමි හා ලොකී ෆර්ගසන් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම ලකුණු 143ක් රැස් කළේ කඩුලු 8ක් දැවී සිටියදීයි.
ව්රිධිමන් සහා ලකුණු 21කට දැවී ගිය අතර, සායි සුදර්සන් නොදැවී ලකුණු 65ක් වාර්තා කළේ පන්දු 50කින්.
පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා ලකුණු 33කට කඩුලු 4ක් දවා ගත්තා.
මෙම තරග ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ, තරග 10කින් තරග 5ක් ජය ගනිමින්.
https://twitter.com/cric12222/status/1521552291962441728

