බාබර් හා රිස්වාන් ලකුණු 200 ඉලක්කය නොදැවී සපුරා ගනියි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 10 ක සුවිශේෂී ජයග්‍රහනයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

කරච්චි හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 200 ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානය ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 19.3 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී සිටියදීයි.

පසුගිය තරගවලදී පිත්තෙන් සැලකිය යුතු දක්ෂතාවයක් දැක්වීමට අපොහොසත් වූ නායක බාබර් අසාම් සිය දෙවැනි 20යි 20 ජාත්‍යන්තර ශතකය වාර්තා කරමින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 110 ක්.

පන්දු 66 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් හා හතරේ පහර 11 ක් ඇතුළත්.

ඔහුට අනගි සහායක් ලබා දුන් මොහමඩ් රිස්වාන් පන්දු 51 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 88 ක්. ඒ, හයේ පහර 4 ක් හා හතරේ පහර 5 ක් ද සමගින්.

ඔවුන් දෙදෙනා අතර ගොඩ නැගුණු ලකුණු 203 ක නොබිදුණු සම්බන්ධතාවය ඉතිහාසගත වුණේ 20යි 20 ජාත්‍යන්තර තරගයක් ජය ගැනීම සදහා ලකුණු සංඛ්‍යාවක් හඹා යාමේ දී පිතිකරුවන් දෙදෙනෙකු අතර ගොඩ නැගුණු ඉහළම සම්බන්ධතාවය ලෙසයි.

මීට පෙර ද එම වාර්තාව ඔවුන් දෙදෙනා විසින්ම පිහිටුවා තිබුණේ 2021 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 197 ක සම්බන්ධතාවයක් පිහිටුවමින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය ලකුණු 199 ක් රැස් කළේ කඩුලු 5 ක් දැවී සිටියදීයි.

නායක මොයීන් අලී පන්දු 23 කින් වේගවත් ලකුණු 55 ක් රැස් කළේ හයේ පහර 4 ක් හා හතරේ පහර 4 ක් සමගින්. බෙන් ඩකට් ලකුණු 43(22)යි.

පන්දු යැවීමේ දී ශහ්නවාස් දහානි හා හැරිස් රවුෆ් කඩුලු 2 බැගින් දවා ගත්තා.

මෙම ජයග්‍රහනයත් සමග දෙරට පැවැත්වෙන තරග 7 කින් යුත් 20යි 20 තරගාවලිය මේ වන විට තරග 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...