මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 39 වැනි තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරදා ලකුණු 29ක ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණ හිමි කර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අද(26) සමත් වුණා.
පූනේ හි පැවැති තරඟයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව රාජස්ථාන් කණ්ඩායමට ලබා දුන්නා.
ඒ අනුව පිටියට පිවිසි රාජස්ථාන් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 144ක් පමණයි.
තරගාවලිය පුරා ලකුණු අතරේ රැදී සිටින ජොස් බට්ලර් මෙම තරගයේ දී ලකුණු 8කට දැවී ගිය අතර, දෙව්දත් පඩික්කල් ලකුණු 7කට දැවී ගියා.
අංක 3 පිතිකරු වූ රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 17(9)ක් ලබා ගත්තා. නායක සංජු සැම්සන් ලකුණු 27කට දවා ගැනීමට වනිදු හසරංග සමත් වූ අතර, ඩැරල් මිචෙල් රැස් කළේ ලකුණු 16ක් පමණයි. ශිම්රන් හෙට්මයර් ද ලකුණු 3ක් රැස් කර ගෙන සිටියදී හසරංගගේ පන්දුවක් හමුවේ දැවී ගියා.
රියාන් පරාග් පන්දු 31කින් නොදැවී ලකුණු 56 ක් ලබා ගනිමින් රාජස්ථාන් ඉනිම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණා. ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 3ක් ඇතුළත්.
සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග සිය පන්දුවාර 4 තුළදී ලකුණු 23ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දී කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුණා.
ජොෂ් හේසල්වුඩ් ලකුණු 19කට කඩුලු 2ක් හා මොහොමඩ් සිරාජ් ලකුණු 30කට කඩුලු 2ක් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් කණ්ඩායමට පන්දුවාර 19.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 115ක් පමණයි.
පසුගිය තරග දෙකේ දී ම ලකුණු නොලබා පළමු පන්දුවෙන්ම දැවී ගිය විරාට් කෝලි මෙම තරගයේ දී ඉනිම ආරම්භ කළා. කෙසේ වෙතත්, ඉනිම ආරම්භයේ සිටම අවස්ථා කිහිපයකදී ම සිය කඩුල්ල රැක ගැනීමට වාසනාවන්ත වුවත්, ඔහු ලකුණු 9(10)ක් ලබා සිටියදී දැවී ගියේ ප්‍රසිද් ක්‍රිෂ්නාගේ පන්දුවක් හමුවේයි.
ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 23යි. ග්ලේන් මැක්ස්වෙල් පළමු පන්දුවෙන්ම දැවී ගියා. ශහ්බාස් අහ්මඩ් ලකුණු 17(27)ක් ද, රාජට් පටිදර් ලකුණු 16ක් ද, රැස් කළා. දිනේෂ් කාර්තික් ලකුණු 6ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා. (දර්ශන පහතින්)
වනිදු හසරංග පන්දු 13කින් ලකුණු 18ක් ලබා ගත්තේ හතරේ පහර 2ක් ද සමගින්.
පන්දු යැවීමේ දී කුල්දීප් සෙන් ලකුණු 20කට කඩුලු 4ක් දවා ගනිමින් බැංගලෝර් ඉනිම සම්පූර්ණයෙන් අඩපන කළා.
ඔහුට අනගි සහායක් ලබා දුන් රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 17කට කඩුලු 3ක් දවා ගත්තා. ප්‍රසිද් ක්‍රිෂ්නා කඩුලු 2ක් දවා ගත්තේ ලකුණු 23ක් ලබා දෙමින්.
— cric fun (@cric12222) April 26, 2022
— cric fun (@cric12222) April 26, 2022

