තෙවැනි දිනට වර්ෂාවෙන් දැඩි බාධා ; සිව්වන දිනයේ ආරම්භක වේලාවේත් වෙනසක්

Date:

ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයට අද(23) වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වයෙන් දැඩි බලපෑම් එල්ල වුණා.

ඒ හේතුවෙන් අද දිනයේ දී තරගය නියමිත වේලාවට පෙර අවසන් කළ අතර, දිනය පුරා ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 38ක් පමණයි.

තෙවැනි දිනට තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුලු 9ක් දැවී ලකුණු 224ක් ලබා සිටියා.

ජොෂුවා ද සිල්වා නොදැවී ලකුණු 11යි. ක්යිල් මේයර්ස් ලකුණු 45කටත්, ජේසන් හෝල්ඩර් ලකුණු 36කටත් දැවී ගියේ පිළිවෙලින් දිමුත් කරුණාරත්න හා දුෂ්මන්ත චමීර රැක ගත් සුපිරි උඩ පන්දු දෙකක් හමුවේයි. එම කඩුලු දෙක දවා ගත්තේ ධනංජය ද සිල්වා හා ප්‍රවීන් ජයවික්‍රම විසිනුයි.

රකීම් කෝන්වෝල් ලකුණු 39කට දවා ගැනීමට සුරංග ලක්මාල් සමත් වුණා.

එම කඩුල්ල දැවී යාමත් සමගයි තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණේ.

කොදෙව් ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු 41කට හා ජර්මයින් බ්ලැක්වුඩ් ලකුණු 20කට ඊයේ(22) දැවී ගියා.

ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 100 දී බිද වැටුණු ද අනතුරුව කොදෙව් පසුපෙල පිතිකරුවන් යළි සබදතා පිහිටුවමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට තර්ජනයක් එල්ල කිරීමට සමත් වීම විශේෂත්වයක්.

පන්දු යැවීමේ දී ප්‍රවීන් ජයවික්‍රම හා රමේෂ් මෙන්ඩිස් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 386ක් රැස් කළා.

සිය 13 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ලබා ගත් ලකුණු සංඛ්‍යාව 147ක්.

පන්දු යැවීමේ දී රොස්ටන් චේස් කඩුලු 5ක් දවා ගත්තා.

ඒ අනුව කොදෙව්වන් මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 162ක්.

වර්ෂාවෙන් තරගයට සිදු වූ බලපෑම හේතුවෙන් සිව්වන දිනය සදහා තරගය හෙට පෙරවරු 9.45ට, එනම් නියමිත වේලාවට වඩා මිනිත්තු 15කට පෙර ආරම්භ කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...