Watch : අවසන් පන්දුවාරයේ දී රින්කුගේ හයේ වරුසාව KKR පිලට අනපේක්ෂිත ජයක් ගෙන එයි

Date:

අවසන් පන්දුවාරයේ දී පිට පිට හයේ පහර 5 ක් එල්ල කරමින් රින්කු සිං දැක් වූ සුපිරි පිතිහරඹය හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 13 වැනි තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරදා කඩුලු තුනක සුපිරි ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද(9) සමත් වුණා.

අහ්මදාබාද් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 204 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායම තරගයේ අවසන් පන්දුවේ දී කඩුලු 7ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

වෙන්කටේෂ් අයියර් පන්දු 40 කින් ලකුණු 83 ක් රැස් කළේ හයේ පහර 5 ක් හා හතරේ පහර 8 ක් සමගින්. නායක නිටිෂ් රානා පන්දු 29 කින් ලකුණු 45 ක් ලබා ගත්තා.

ඉනිමේ 17 වැනි පන්දුවාරයේ දී අන්ඩ්‍රි රසල්, සුනිල් නරේන් හා ශර්දුල් තාකූර් යන පිතිකරුවන් පිට පිට පන්දු තුනකදී දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයක් බිද හෙලීමට රෂීඩ් ඛාන් සමත් වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු සිය කණ්ඩායමට හිමි කරමින්.

19 වැනි පන්දුවාරය ආරම්භ වන විට කොල්කටා කණ්ඩායමට පන්දු 12 කදී ජයග්‍රහනය සදහා ලකුණු 43 ක් අවශ්‍ය වූ අතර, ඉතිරිව තිබුණේ කඩුලු 3 ක් පමණයි.

19 වැනි පන්දුවාරයේ පළමු පන්දු 4ට ලකුණු 4ක් පමණක් වාර්තා වූ අතර, ඒ අනුව අවසන් පන්දු 8 තුළ දී ජයග්‍රහනයට අවශ්‍ය වූ ලකුණු ප්‍රමාණය 39 ක්. නමුත්, එම පන්දුවාරයේ අවසන් පන්දු දෙකට හයේ පහරක් හා හතරේ පහරක් එල්ල කිරීමට රින්කු සිං සමත් වුණා.

ඒ අනුව අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීමට ලකුණු 29 ක් කොල්කටා නයිට් රයිඩර්ස් පිලට අවශ්‍ය වුණා. පළමු පන්දුවට උමේෂ් යාදව් විසින් එක් ලකුණක් ලබා ගනිමින් පිතිකරණයේ නිරත වීමේ අවස්ථාව රින්කු සිං වෙත ලබා දුන්නා.

යශ් දයාල් යොමු කළ අවසන් පන්දුවාරයේ අවසන් පන්දු 5ට ලකුණු 28 ක් ජයග්‍රහනය සදහා අවශ්‍ය වූ පසුබිමක අනපේක්ෂිත ප්‍රහාරයක් දියත් කළ රින්කු සිං හයේ පහර 5ක් පිට පිට එල්ල කරමින් නයිට් රයිඩර්ස් පිලට අනර්ඝ ජයග්‍රහනයක් හිමි කර දුන්නා.

රින්කු පන්දු 21 කින් නොදැවී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 48 ක්. ඒ, හයේ පහර 6 ක් හා හතරේ පහරක් සමගින්. පන්දු යැවීමේ දී රෂීඩ් ඛාන් ලකුණු 37 කට කඩුලු 3 ක් දවා ගත් අතර, අල්සාරි ජෝසප් ලකුණු  27 කට කඩුලු 2ක් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් විජයි ශන්කර් පන්දු 24 කින් නොදැවී ලකුණු 63 ක් වාර්තා කළා. හයේ පහර 5 ක් හා හතරේ පහර 4ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

සායි සුදර්සන් ලකුණු 53 (38) යි. පන්දු යැවීමේ දී සුනිල් නරේන් ලකුණු 33 කට කඩුලු 3 ක් දවා ගත්තා.

තරගයේ අවසන් පන්දුවාරයේ දර්ශන කිහිපයක් පහතින් නරඹන්න –

https://twitter.com/ParmarArth3/status/1645070709448904704

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...