ස්ටොයිනිස්ගේ වේගවත් 89* හා පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ ලක්නව් පිලට තියුණු ජයක්

Date:

මර්කස් ස්ටොයිනිස් ක්‍රීඩා කළ විශිෂ්ඨ ඉනිම හා පන්දු යවන්නන් අවසන් පන්දුවාරවලදී දැක් වූ විශිෂ්ඨ දක්ෂතා හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 63 වැනි තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා ලකුණු 5 ක තියුණු ජයක් වාර්තා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අද(16) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 178 ක ඉලක්කයක් හඹා ගිය මුම්බායි කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 172 ක් පමණයි.

තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි නායක රෝහිත් ෂර්මාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පිතිකරුවන්ට හිතකර නොවන බවට සම්මත ලක්නව් තණතීරුව තුළ නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 177 ක් රැස් කළේ කඩුලු 3 ක් දැවී සිටියදීයි.

මුල්පෙල පිතිකරුවන් තිදෙනාගෙන් ඉනිමට සාර්ථක දායකත්වයක් නොලැබුණු පසුබිමක සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 82* (59) ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට කෘනාල් පාන්ඩ්යා හා මර්කස් ස්ටොයිනිස් සමත් වුණා.

පාන්ඩ්යා ලකුණු 49 ක් ලබා සිටියදී ආබාධයකට ලක්වීම හේතුවෙන් පිටියෙන් ඉවත් වූ නමුත්, මර්කස් ස්ටොයිනිස් ලක්නව් ඉනිමට වේගවත් අවසානයක් ගෙන දීමට සමත් වුණා. ඔහු පන්දු 47 කින් නොදැවී ලකුණු 89 ක් වාර්තා කළේ හයේ පහර 8 ක් හා හතරේ පහර 4 ක් සමගින්.

ලක්නව් කණ්ඩායම ඉනිමේ අවසන් පන්දුවාර තුනේ දී ලකුණු 54 ක් වාර්තා කිරීම කැපී පෙනුණා. ස්ටොයිනිස් හා නිකලස් පූරාන් අතර ලකුණු 60 (24) ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩ නැගුණු අතර, පූරාන් රැස් කළේ නොදැවී ලකුණු 8ක් පමණයි.

පන්දු යැවීමේ දී ජේසන් බෙහ්රන්ඩොර්ෆ් ලකුණු 30 කට කඩුලු 2 ක් දවා ගත් අතර, පියුෂ් චවුලා ලකුණු 26 කට කඩුල්ලක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දීමට රෝහිත් ෂර්මා හා ඉෂාන් කිෂන් සමත් වුණේ පන්දුවාර 9.4 ක් තුළ ලකුණු 90 ක සම්බන්ධතාවයක් පළමු කඩුල්ලට ගොඩ නගමින්.

රෝහිත් ලකුණු 37(25) ක් ද, කිෂන් ලකුණු 59(39) ක් ද රැස් කළා. සූර්යකුමාර් යාදව් ලකුණු 7කට දැවී ගිය අතර, නෙහාල් වදේරා ලකුණු 16 යි. විශ්නු විනෝද් ලකුණු 2කට දැවී ගියා. ටිම් ඩේවිඩ් නොදැවී ලකුණු 32(19) ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නමුත් එය සාර්ථක වූයේ නැහැ.

පන්දු යැවීමේ දී රවී බිෂ්නෝයි ලකුණු 26 කට කඩුලු 2 ක් දවා ගත් අතර, යශ් තාකූර් ලකුණු 40 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...