Tea Report : අලීගේ කඩුලු 6 හමුවේ ශ්‍රී ලංකාව ඉනිමක පරාජයක් අභියස

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි (ජූලි 27).

තේ පානය සදහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිමේ දී ඉනිමක පරාජයෙන් ගැළවීම සදහා ලකුණු 410 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 143 ක්.

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 81 ක් ලබා සිටි අතර, දිවා ආහාරයේ සිට තේ පානය දක්වා වූ කාලයේ දී ශ්‍රී ලංකාවේ කඩුලු 5ක් පන්දුවාර 28 කදී ලකුණු 62 ක් තුළ බිද වැටුණා.

දැවී ගිය සියලු කඩුලු දවා ගැනීමට සමත්වුණේ නෝමන් අලී විසින් වීම ද විශේෂත්වයක්.

නොදැවී පන්දුවට පහර දෙන ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 38 ක් ලබා සිටින අතර, රමේෂ් මෙන්ඩිස් තවමත් ලකුණු ලබා ගැනීම ආරම්භ කර නැහැ.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 69 කට සීමා කරමින් නිශාන් මදුෂංක ලකුණු 33 කට දැවී ගියා.  දිමුත් කරුණාරත්න ලකුණු 41 යි. යළිත් අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් ලකුණු 14 කට දැවී ගිය අතර, දිනේෂ් චන්දිමාල් ලබා ගත්තේ එක් ලකුණක් පමණයි. ධනංජය ද සිල්වා ලකුණු 10 කට දැවී ගියා. සධීර සමරවික්‍රම ලකුණු 5 යි.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට ඉනිමක පරාජයෙන් ගැළවීම සදහා තවත් ලකුණු 267 ක් ලබා ගත යුතුයි.

අද දිනය සදහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 5 ක් දැවී ලකුණු 563 ක් ලබා සිටි අතර, ඔවුන් සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 576 ක් ලබා සිටියදීයි.

අද දිනයේ දී පාකිස්තානය පන්දුවට පහර දුන්නේ පන්දුවාර 2ක් පමණයි. එහිදී මොහමඩ් රිස්වාන් සිය අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට සමත් වූ අතර, ඔහු නොදැවී ලකුණු 50 ක් ලබා ගත්තේ පන්දු 67 කින්. පළමු ඉනිම අතරතුර දී සර්ෆරාස් අහ්මඩ්ගේ හිස් ආවාරණයේ පන්දුවක් වැදීම හේතුවෙන් ඔහු කම්පන තත්ත්වයකට ලක් වීම හේතුවෙනුයි සර්ෆරාස් වෙනුවට මොහමඩ් රිස්වාන් පාකිස්තාන කණ්ඩායමට ආදේශ කෙරුණේ.

ආගා සල්මන් නොදැවී ලකුණු 132 යි. ඔහු හා රිස්වාන් අතර ගොඩ නැගුණු නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 108* (125) ක්.

පාකිස්තාන ඉනිමේ නැංගුරම බවට පත් වූ අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 201 ක් ලබා ගත්තා. පන්දු 326 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 19 ක් ඇතුළත්. සවුද් ශකීල් ලකුණු 57 ක් ද, ශාන් මසූඩ් ලකුණු 51 ක් ද රැස් කළා. පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුලු 3 ක් හා ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 ක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166 ක් පමණයි. ධනංජය ද සිල්වා ලකුණු 57 ක් ලබා ගත් අතර, දිනේෂ් චන්දිමාල් ලකුණු 34 යි. පන්දු යැවීමේ දී අබ්‍රාර් අහ්මඩ් ලකුණු 69 කට කඩුලු 4 ක් හා නසීම් ශාහ් ලකුණු 41 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...