පාපන්දු, රග්බි පිටියෙන් 20යි 20 ක්‍රිකට් පිටියට එන අලුත්ම නීතිය මෙන්න

Date:

එළඹෙන ඉන්දීය දේශීය 20යි 20 තරගාවලිය සදහා ආදේශක ක්‍රීඩකයින් යොදා ගැනීමේ නව ක්‍රමවේදයක් හදුන්වා දීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

උපායමාර්ගිකව ක්‍රීඩක ආදේශ කිරීමක් සිදු කිරීමට කණ්ඩායම් දෙක සදහා අවසර ලබා දීම මෙම නව ක්‍රමවේදය ඔස්සේ සිදු වන අතර, එය ‘Impact Player’ යන නමිනුයි හදුන්වා දී ඇත්තේ.

ඔක්තෝබර් 11 වැනිදා ආරම්භ වීමට නියමිත Syed Mushtaq Ali කුසලාන තරගාවලියේ දී මෙම ක්‍රමවේදය ඔවුන් අත්හදා බැලීමට සූදානමින් පසුවනවා.

එය සාර්ථක වුවහොත් 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ද මෙම ක්‍රමවේදය හදුන්වා දීමට නියමිතයි.

මෙම නව ක්‍රමවේදයේ දී සිදු වන්නේ එක් කණ්ඩායමකට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 11 දෙනා අතරින් එක් ක්‍රීඩකයෙකු තරගයක් අතරතුර දී තරගයට ක්‍රීඩා නොකරන වෙනත් ක්‍රීඩකයෙකු සමග ආදේශ කිරීමට අවස්ථාව ලබා දීමයි.

තරගයේ කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේ දී කණ්ඩායම් දෙක විසින් සිය ක්‍රීඩකයින් 11 දෙනාගෙන් යුත් අවසන් කණ්ඩායම ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ දී අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙකු ද ලැයිස්තුවට ඇතුළත් කරන අතර, ඉන් එක් ක්‍රීඩකයෙකු, අවසන් 11 දෙනාගේ කණ්ඩායමේ එක් අයෙකු සමග ආදේශ කිරීමේ අවස්ථාව මෙහිදී හිමි වනවා.

ඉනිමක 14 වැනි පන්දුවාරය අවසන් වීමට පෙර මෙම ආදේශ කිරීම සිදු කළ යුතුයි.

පිතිකරණයේ නිරත වීම මෙන්ම පන්දු යැවීමේ අවස්ථාව ද මෙම ආදේශක ක්‍රීඩකයාට හිමි වනවා.

මෙම නව ක්‍රමවේදයේ දී පිතිකරණයේ නිරත වන කණ්ඩායමට සිය කණ්ඩායමේ දැවී ගිය පිතිකරුවෙකු වුවද අතිරේක ක්‍රීඩකයින් අතරින් ක්‍රීඩකයෙකු සමග ආදේශ කිරීමට හැකි වන අතර, එම ආදේශක ක්‍රීඩකයාට ද පිතිකරණයේ නිරත වීමට අවසර හිමි වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, කණ්ඩායමක පිතිකරණයේ නිරත විය හැකි උපරිම පිතිකරුවන් ගණන 11 දෙනෙකු පමණයි.

මෙම නව ක්‍රමවේදයේ දී කණ්ඩායමක් පන්දු රකිමින් සිටියදී පන්දුවාර කිහිපයක් යොමු කළ ක්‍රීඩකයෙකු වෙනුවට වෙනත් පන්දු යවන්නෙකු ද ආදේශ කළ හැකි අතර, එම ආදේශක ක්‍රීඩකයාට ද සිය පන්දුවාර හතරම වුවද යොමු කිරීමට අවසර හිමි වනවා.

මෙම ක්‍රීඩක ආදේශ කිරීම පන්දුවාරයක් අවසානයේ දී සිදු කළ හැකියි. පිතිකරණ කණ්ඩායමට පිතිකරුවෙකු දැවී ගිය අවස්ථාවේ දී මෙම ආදේශ කිරීම සිදු කළ හැකි අතර, පන්දු රකින කණ්ඩායමට පන්දු රකින්නෙකු ආබාධයකට ලක් වූ අවස්ථාවකදී මෙම ආදේශ කිරීම සිදු කළ හැකියි. ඉනිමක් අවසානයේ දී ක්‍රීඩක ආදේශ කිරීම සිදු කළ හැකිවනවා.

ආදේශ කිරීමට ලක් වූ, පළමුව නම් කළ ක්‍රීඩකයින් 11 දෙනා අතරට ඇතුළත්ව සිටි ක්‍රීඩකයාට අදාළ ආදේශ කිරීම සිදු කිරීමෙන් පසුව යළි අදාළ තරගයට කිසිදු අයුරකින් ක්‍රීඩා කළ හැකි වන්නේ නැහැ.(අතිරේක පන්දු රකින්නෙකු ලෙසවත් නොහැක)

මෙම නව නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබද දීර්ඝ පැහැදිලි කිරීමක් සහිත ඊ මේල් පණිවිඩයක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රාන්ත ක්‍රිකට් සංගම් වෙත මේ වන විට යොමු කර තිබෙනවා.

මීට පෙර 2005 හා 2006 වසරවලදී මීට තරමක් සමාන ක්‍රමවේදයක් එක්දින ජාත්‍යන්තර තරගවලදී යොදා ගත් අතර (Supersub system), ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් තරගාවලියේ දී ද මීට තරමක් සමාන නීතියක් වන X-Factor ක්‍රමවේදය යොදා ගනු ලබනවා. කෙසේ වෙතත්, මෙම ‘Impact Player’ නම් නව නීතිය අදාළ ක්‍රමවේද දෙකට වඩා වැඩි උපායශීලී නම්යශීලීභාවයකින් යුක්ත වීම විශේෂත්වයක්.

පාපන්දු, රග්බි, පැසිපන්දු වැනි වෙනත් ක්‍රීඩා ද ආදර්ශයට ගෙන මෙම නව ක්‍රමවේදය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සකස් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...