ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(16) ගාල්ලේ දී ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 65 ක්.
තරගය ආරම්භ කිරීමෙන් පසුව පෙරවරු කාලයේ දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් දිවා ආහාරය සදහා තරගය නතර කෙරුණේ පස්වරු 1 ටයි.
ඉනිම ආරම්භ කළ නිශාන් මදුෂ්ක ලකුණු 4 කට දැවී ගියේ ශහීන් අෆ්රිඩිගේ 100 වැනි ටෙස්ට් කඩුල්ල බවට පත් වෙමින්.
අනතුරුව කුසල් මෙන්ඩිස් ලකුණු 12 කට දවා ගැනීමට ද අෆ්රිඩි සමත් වූ අතර, නායක දිමුත් කරුණාරත්න ලකුණු 29 කට දැවී ගියේ ද අෆ්රිඩිගේ පන්දුවක් හමුවේයි.
දිනේෂ් චන්දිමාල් එක් ලකුණකට දැවී ගියා. ඒ, නසීම් ශාහ් යොමු කළ පන්දුවක් හමුවේ බාබර් අසාම් අතට උඩ පන්දුවක් ලබා දෙමින්.
නොදැවී පන්දුවට පහර දෙන ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 12 ක් හා ධනංජය ද සිල්වා ලකුණු 7 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
තේ පානය සදහා තරගය පස්වරු 3.40ට නතර කිරීමට නියමිතව ඇති අතර, තරගය පළමු දිනය සදහා අත්හිටුවීමට නියමිතව ඇත්තේ පස්වරු 6ටයි.

