ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL ක්‍රිකට් තරගාවලියේ හයවැනි අදියර සදහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු ඊයේ (8) ආරම්භ වුණා.
මැයි 18 වැනිදා දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය හරහා විදෙස් ක්‍රීඩකයින්ට තරගාවලිය වෙනුවෙන් ලියාපදිංචි විය හැකි බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ලියාපදිංචි වන ක්‍රීඩකයින්ට ඒ සදහා තිබිය යුතු සුදුසුකම් පිළිබද සටහන් කරමින් මාර්ගෝපදේශ මාලාවක් ද තරගාවලියේ සංවිධායකයින් විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව ලියාපදිංචි වන ක්‍රීඩකයින්ට පනවා ඇති සුදුසුකම් ලැයිස්තුවේ ඇති සමාජ මාධ්‍ය අනුගාමිකයින් (followers) පිළිබද නීතිය මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.
Icon කාණ්ඩයෙන් ලියාපදිංචි වන ක්‍රීඩකයින් ජාත්‍යන්තර විස්සයි 20 තරග 75ක්, franchise විස්සයි 20 තරග 100 කට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කර තිබීම මෙන්ම අවසන් මාස 18 තුළ තරග 30 ක් ක්‍රීඩා කර තිබීම අනිවාර්ය කර තිබෙනවා.
ඊට අමතරව අදාළ ක්‍රීඩකයින්ට සමාජ මාධ්‍ය ඔස්සේ 250,000 කට වැඩි අනුගාමිකයින් (followers) පිරිසක් ද සිටිය යුතු වීම විශේෂත්වයක්.
මෙම අනුගාමික නීතිය Star හා Gold කාණ්ඩවලින් ලියාපදිංචි වන ක්‍රීඩකයින්ට ද අදාළ වනවා.
ඒ අනුව Star කාණ්ඩය යටතේ ලියාපදිංචි වන ක්‍රීඩකයින්ට ද සමාජ මාධ්‍ය ඔස්සේ 250,000 කට වැඩි අනුගාමිකයින් පිරිසක් සිටිය යුතු අතර, Gold කාණ්ඩයෙන් ලියාපදිංචි වන ක්‍රීඩකයෙක් සතුවිය යුතු අනුගාමිකයින් ප්‍රමාණය වන්නේ 150,000 ක්.

