IPL නරඹන්න එන්නත්කරණයට ලක්වූවන්ට අවස්ථාව? BCCI නිලධාරීන් ඩුබායි වෙත

Date:

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) උසස් නිළධාරීන් පිරිසක් ඩුබායි වෙත විශේෂ ගුවන් යානයකින් අද(31) ළගා වී තිබෙනවා.

ඒ, මැයි පළමු සතියේ අත්හිටුවීමට කටයුතු කෙරුණු මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග 31 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට අදාළ කටයුතු පිළිබද ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමටයි.

එමෙන්ම ඉන්දියාවට සත්කාරකත්වය හිමි මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීම සම්බන්ධයෙන් ද මේ වන විට අවධානය යොමුව ඇති අතර, ඒ පිළිබදව ද මෙහිදී සාකච්ඡා කරනු ඇති.

ඩුබායි වෙත පැමිණි පිරිස අතරට, BCCI ලේකම් ජයි ශහ් සහ භාණ්ඩාගාරික අරුන් ධුමාල් ද ඇතුළත්.

ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි ද බදාදා දිනයේ දී ඩුබායි වෙත පැමිණීමට නියමිතව ඇත්තේ එමිරේට්ස් ක්‍රිකට් ආයතනය සමග සිදු කෙරෙන සාකච්ඡා සදහා එක්වීමටයි.

පසුගියදා පැවැති ඉන්දීය ක්‍රිකට් ආයතනයේ විශේෂ මහා සභා රැස්වීමකදී අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී පැවැත්වීමට තීරණය කෙරුණු අතර, ඒ අනුව ඒ සදහා එමිරේට්ස් රජයේ අනුමැතිය ලබා ගැනීමට මෙම සාකච්ඡාවලදී පළමුව ඉන්දීය ක්‍රිකට් බළධාරීන් අවධානය යොමු කරනු ඇති.

එමෙන්ම ඩුබායි, අබුඩාබි සහ සාජා ක්‍රීඩාංගන සූදානම් කර ගැනීම සම්බන්ධයෙන් මෙන්ම කණ්ඩායම් 8 සදහා වන ජෛව ආරක්ෂිත බුබුල සකස් කර ගැනීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

තරගාවලිය සදහා ඉන්දියාවෙන් පමණක් නොව රටවල් රැසකින් ක්‍රීඩකයින් පැමිණෙන බැවින් ඔවුන් සදහා වන නිරෝධායන ක්‍රමවේද සම්බන්ධයෙන් ද එකගතාවයකට පැමිණීමට සිදු වනවා.

අයි.පී.එල් බුබුලට එක්වන ක්‍රීඩකයින් ඇතුළු සියලු දෙනා කොරෝනා වෛරසයට එරෙහිව එන්නත්කරණයට ලක් කිරීම සම්බන්ධයෙන් ද ඇතැම්විට මෙම හමුවේ දී සාකච්ඡා කෙරෙණු ඇති බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේ.

මෑතකදී පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග සදහා සත්කාරකත්වය දැරීම වෙනුවෙන් අබුඩාබි රජය අවසර ලබා දුන්නේ ද ජෛව ආරක්ෂිත බුබුලට ඇතුළත් වන සියලු දෙනා එන්නත්කරණයට ලක්විය යුතු බවට වන කොන්දේසිය සමගින්.

මේ අතර, අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට ද අවසර ලැබෙනු ඇති බව වාර්තා වනවා.

ඒ, එක්සත් අරාබියේ පැවැත්වෙන ක්‍රීඩා තරග නැරඹීම සදහා කොන්දේසි සහගත අනුමැතියක් ලබා දී ඇති බැවින්.

ක්‍රීඩාංගනයේ ප්‍රමාණයෙන් 50%ක පිරිසකට පමණක් එරට පැවැත්වෙන තරග නැරඹිය හැකි අතර, එම නරඹන්නන් සියලු දෙනා එන්නත්කරණයට ලක්ව සිටීම ද අනිවාර්යය කරුණක්.

වාර්තාවන ආකාරයට එක්සත් අරාබියේ බහුතර පුද්ගලයින් පිරිසක් මේ වන විට කොරෝනා වෛරසයට එරෙහි එන්නත් ලබා ගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...