ICC වාර්ෂික සමුළුව අද කොළඹ දී ; T20 ලෝක කුසලානයෙන් අත් වූ දැවැන්ත මූල්‍ය පාඩුව ගැනත් අවධානය

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) වාර්ෂික සමුළුව අද (19) සිට 22 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ලොව පුරා එනම්, අප්‍රිකාව, ඇමෙරිකාව, ආසියාව, නැගෙනහිර ආසියා පැසිෆික් හා යුරෝපය යන කලාප නියෝජනය කරන අයි.සී.සී සාමාජිකත්වය සහිත රටවල් 108 ක නියෝජිතයින් 220 දෙනෙකුට වඩා වැඩි පිරිසක් මෙම සමුළුව සදහා එක්වීමට නියමිතයි.

නිමා වූ පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් හා ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රිකට් ආයතනයේ පරිපාලන ගැටලු සම්බන්ධයෙන් ද මෙම අයි.සී.සී සමුළුවේ දී අවධානය යොමු කිරීමට නියමිතව තිබෙනවා.

2024 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ඇමෙරිකාවේ දී හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හීදී පැවැති අතර, එහි ඇමෙරිකානු අදියරෙන් ඩොලර් මිලියන ගණනක අලාභයක් අයි.සී.සීයට සිදුව ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

ඇතැම් වාර්තාවලට අනුව ඉන්දීය රුපියල් කෝටි 160 කට අධික (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 583 කට අධික) අලාභයක් අයි.සී.සීයට සිදුව ඇති බව සදහන්.

තරගාවලිය පැවැත්වීම සදහා නිව්යෝර්ක් නුවර නව ක්‍රීඩාංගනයක් ද ඉදි කිරීමට සිදු වූ අතර, ඒ සදහා පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ක පමණ මුදලක් අයි.සී.සීයට වැය වී තිබුණා.

ඇමෙරිකානු අදියර වෙනුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය පළමුව ඇමෙරිකානු ඩොලර් මිලියන 40-50 ක පමණ මුදලක් සදහා අනුමැතිය ලබා දී තිබූ බවයි වාර්තා වන්නේ.

ඉන් ඩොලර් මිලියන 15 ක් මෙහෙයුම් වියදම් සඳහා ද, ඩොලර් මිලියන 30 ක් පමණ නිව් යෝර්ක් හි ඉදි කෙරුණු තාවකාලික ක්‍රීඩාංගනයේ ඉදි කිරීම් කටයුතු සදහා ද යොදා ගැනීමට ඇස්තමේන්තුගත කර තිබුණා.

කෙසේ වෙතත්, ලෝක කුසලානයේ ඇමෙරිකානු අදියර ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ICC හි වාණිජ අංශය වන IBC විසින් නිර්මාණය කරන ලද එක්සත් ජනපදය පදනම් කරගත් ආයතනයක් වන T20 World Cup USA Inc විසින් තරගාවලිය ආරම්භ වීමට ඉතා ආසන්නව තිබියදී තවත් ඩොලර් මිලියන 20 ක මුදලක් අවශ්‍ය බවට ඉල්ලීමක් සිදු කර තිබූ බව සදහන්.

මේ අතර, ඇමෙරිකානු ක්‍රිකට් ආයතනයේ පරිපාලනය පිළිබදව ද මෑතක සිට ගැටලු මතුව තිබූ අතර, ඒ සම්බන්ධයෙන් ද සාකච්ඡා කර අවශ්‍ය තීන්දු තීරණ අයි.සී.සී සමුළුව අතුරතුර දී ගැනීමට නියමිතයි.

ලොව පුරා සිටින ක්‍රිකට් පරිපාලකයින්ගේ සහ පාර්ශවකරුවන්ගේ උසස්ම රැස්වීම වන ICC වාර්ෂික සමුළුව ක්‍රීඩාවේ උපාය මාර්ගික දිශානතිය, පාලනය සහ ලොව පුරා ක්‍රිකට් සංවර්ධනය පිළිබඳ සාකච්ඡා සිදු කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කරනු ලබනවා.

2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කර ඇති පසුබිමක “ඔලිම්පික් අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම” යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වෙන බව සදහන්.

වාර්ෂික සමුළුව යටතේ ප්‍රධාන රැස්වීම් කිහිපයක් මෙන්ම වැඩමුළු ද පැවැත්වීමට නියමිතව ඇති අතර, ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් වැදගත් තීරණ රැසක් ද මෙහිදී ගැනීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...