මෙවර ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ 49 වැනි තරගයෙන් ලකුණු 13ක ජයක් වාර්තා කරමින් ප්රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අද(4) සමත් වුණා.
පූනේ හී දී පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි.
තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව බැංගලෝර් කණ්ඩායමට ලබා දුන්නා.
ඒ අනුව පිටියට පිවිසි බැංගලෝර් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 173ක් රැස් කිරීමට සමත් වුණා.
මහිපාල් ලොම්රෝර් ලකුණු 42(27)ක් හා නායක ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 38(22)ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා. විරාට් කෝලි ලකුණු 30(33)යි. දිනේෂ් කාර්තික් නොදැවී ලකුණු 26(17)ක් රැස් කළා.
සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 27ක් ප්රතිවාදීන්ට ලබා දෙමින් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.
ඔහු එම කඩුලු 3ම දවා ගත්තේ සිය අවසන් පන්දුවාරයේ දී යි. තරගයේ 19 වැනි පන්දුවාරය යොමු කිරීමේ අභියෝගය තීක්ෂණට භාර වූ අතර, එම පන්දුවාරයේ දී ඔහු ලකුණු 2ක් පමණක් ලබා දෙමින් එම කඩුලු 3 දවා ගැනීම විශේෂත්වයක්.
මොයීන් අලී ලකුණු 28කට කඩුලු 2ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ චෙන්නායි පිලට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 160ක් පමණයි.
චෙන්නායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඩෙවෝන් කොන්වේ ලකුණු 56(37)ක් ලබා සිටියදී දවා ගැනීමට වනිදු හසරංග සමත් වුණා.
මොයීන් අලී ලකුණූ 34(27)කටත්, රුටුරාජ් ගයික්වඩ් ලකුණු 28(23)කටත් දැවී ගියා.
පන්දු යැවීමේ දී හර්ෂාල් පටෙල් ලකුණු 35කට කඩුලු 3ක් දවා ගනිමින් තරගයේ වීරයා ලෙස ද සම්මානයෙන් පිදුම් ලැබුවා. ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 22කට කඩුලු 2ක් බිද හෙලුවා.
වනිදු හසරංග මෙම තරගයේ දී පන්දුවාර 3ක් පමණක් යොමු කරමින් ලකුණු 31කට එක් කඩුල්ලක් දවා ගත්තා.
— cric fun (@cric12222) May 4, 2022

