රෝහිත්ට පාකිස්තානයට යාම අනවශ්‍ය වෙයි – ශූරයින්ගේ කුසලානයට පෙර සමාරම්භක උත්සවයක් හෝ නායකයින්ගේ හමුවක් නැහැ

Date:

2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සංවිධාන කරන නායකයින්ගේ නිල හමුවක් හෝ නායකයින්ගේ නිල ඡායාරූප ගැනීමක් සිදු නොවන බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සාමාන්‍යයෙන් අයි.සී.සී තරගාවලියකට පෙර නායකයින් හමුවන එවැනි නිල වැඩසටහනක් සත්කාරක රටේදී පැවැත්වීමට කටයුතු කරන නමුත්, 1996 වසරෙන් පසුව පාකිස්තනයේදී පළමු වරට පැවැත්වෙන අයි.සී.සී තරගාවලිය වන ශූරයින්ගේ කුසලාන තරගාවලියට පෙර එවැනි වැඩසටහනක් නොපැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

2017 වසරේදී බ්‍රිතාන්‍යයේදී පැවැති අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලිය සදහා සමාරම්භක උත්සවයක් නොපැවැති නමුත්, නායකයින්ගේ නිල හමුවක් සංවිධාන කර තිබුණා.

මෙවර තරගාවලියට ද සමාරම්භක උත්සවයක් නොමැති නමුත්, තරගාවලිය ආරම්භ වීමට දින තුනකට පෙර, එනම් පෙබරවාරි 16 වැනිදා පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ලාහෝර්හීදී තරගාවලියේ සමාරම්භය සනිටුහන් කිරීම සදහා වැඩසටහනක් සංවිධාන කර තිබෙනවා.

රටවල් දෙකක (පාකිස්තානයේදී හා ඩුබායිහීදී) ක්‍රීඩාංගන 4කදී තරගාවලිය පැවැත්වීමත්, ඇතැම් කණ්ඩායම් තරගාවලිය ආරම්භ වීමට ආසන්නයේදී පාකිස්තානයට පැමිණීමට නියමිතව තිබීමත් පදනම් කර ගනිමින් නායකයින්ගේ මාධ්‍ය හමුවක් නොපැවැත්වෙන බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම ද පාකිස්තානයට පැමිණීමට නියමිතව ඇත්තේ තරගාවලිය ආරම්භ වන පෙබරවාරි 19 වැනිදායි.

රටවල් දෙකක පැවැති 2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භයට පෙර ද නායකයින්ගේ හමුවක් අයි.සී.සීය සංවිධාන කර තිබුණේ නැහැ.

නායකයින්ගේ හමුවක් පාකිස්තානයේදී පැවැත්වීමට කටයුතු කළහොත් ඒ සදහා ඉන්දීය නායක රෝහිත් ෂර්මා සහභාගී වනු ඇත්දැයි පසුගිය දිනවලදී දැඩි කතාබහක් නිර්මාණය වී තිබුණා.

තරගාවලිය ක්‍රීඩා කිරීමට ඉන්දීය කණ්ඩායමට පාකිස්තානයට ගමන් කිරීමට ද ඉන්දීය රජය අවසර ලබා නොදුන් අතර, ඒ අනුව රෝහිත් ෂර්මාට සමාරම්භක උත්සවයක් සදහා හෝ නායකයින්ගේ හමුවක් සදහා එක්වීමට පාකිස්තානයට පැමිණීමට ද අවසර නොලැබෙනු ඇති බවටයි අපේක්ෂා කෙරුණේ.

කෙසේ වෙතත්, එවැනි උත්සවයක් හෝ වැඩසටහනක් මෙවර සංවිධාන නොකරන බැවින් මෙම ගැටලුව ද මේ වන විට විසදී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...