ලකුණු 14 කට කඩුලු 7ක් දැවී ගිය ශ්‍රී ලංකාව දෙවැනි තරගයත් පරදියි

Date:

නවසීලන්තය සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 45 ක පරාජයක් ලබමින් තරග 3 කින් යුත් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම පරාජයට පත් වීමට (0-2) ශ්‍රී ලංකා කණ්ඩායමට අද(30) සිදු වුණා.

මවුන්ට් මවුන්ගනුයිහි බේ ඕවල් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව මෙම තරගයේදී ද නවසීලන්තයට ලබා දුන් අතර, ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 186 ක් ලබා ගනිමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 19.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 141 ක් පමණයි.

ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 32 කට සීමා කරමින් කුසල් මෙන්ඩිස් ලකුණු 10 කට දැවී ගිය අතර, පැතුම් නිස්සංක රැස් කළ ලකුණු සංඛ්‍යාව 37(28) ක්. කමිදු මෙන්ඩිස් ලකුණු 7යි.

කුසල් පෙරේරා පන්දු 35 කින් ලකුණු 48 ක් රැස් කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 4 ක් සමගින්. චරිත් අසලංක ලකුණු 20 කටත්, මෙම තරගයේදී භානුක රාජපක්ෂ වෙනුවට කණ්ඩායමට කැදවූ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 5 කටත් දැවී ගියා. වනිදු හසරංග ලබා ගත්තේ එක් ලකුණක් පමණයි. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 7 දැවී ගියේ ලකුණු 14 ක් තුළදී වීම විශේෂත්වයක්.

පන්දු යැවීමේ දී ජෙකබ් ඩෆී ලකුණු 15 කට කඩුලු 4 ක් දවා ගත් අතර, මැට් හෙන්රි හා මිචෙල් සැන්ට්නර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ මාර්ක් චැප්මන්. ඔහු පන්දු 29 කින් ලකුණු 42 ක් ලබා ගත් අතර, ටිම් රොබින්සන් හා මිචෙල් හේ(නොදැවී පන්දු 19 කින්) ලකුණු 41 බැගින් රැස් කළා.

නවසීලන්ත ඉනිමේ දෙවැනි කඩුල්ල සදහා රොබින්සන් හා චැප්මන් අතර ලකුණු 69 (41) ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. 6 වැනි කඩුල්ල වෙනුවෙන් ද මිචෙල් හේ හා මයිකල් බ්‍රේස්වෙල් අතර පන්දු 15 කින් ලකුණු 41 ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩ නැගීම ශ්‍රී ලංකාවෙන් ජයග්‍රහනයේ බලාපොරොත්තු ඈත් කිරීමට හේතු වුණා. නවසීලන්තය අවසන් පන්දුවාර දෙකේදී ලකුණු 34 ක් රැස් කළා.

පන්දු යැවීමේදී වනිදු හසරංග ලකුණු 28 කට කඩුලු 2 ක් දවා ගත් අතර, නුවන් තුෂාර (ලකුණු 25කට) හා මතීෂ පතිරණ (ලකුණු 37 කට) එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...