ස්ටක්ගේ වාර්තාගත පන්දු යැවීම හමුවේ පළමු දිනයේ වැඩි ගෞරව ඔස්ට්‍රේලියාවට

Date:

ඉන්දියාව 180 ; ඔස්ට්‍රේලියාව 86/1 – ඔස්ට්‍රේලියාව ලකුණු 94 ක් පිටුපසින්

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5 කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ පළමු දිනය අද(6) ඇඩිලේඩ්හීදී නිමා වුණේ මිචෙල් ස්ටක්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ දිනයේ සියලු ගෞරව ඔස්ට්‍රේලියාවට හිමි කර දෙමින්.

දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 86 ක්. ඒ, කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 180 ට පිළිතුරු ලෙසයි. ඒ අනුව ඔස්ට්‍රේලියාව මේ වන විට ලකුණු 94 ක් පිටුපසින් පසුවනවා.

නේදන් මැක්ස්වීනී නොදැවී ලකුණු 38 ක් හා මර්නස් ලබුෂේන් නොදැවී ලකුණු 20 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ඔවුන් දෙදෙනා අතර ගොඩ නැගී ඇති නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 62 (133) ක්. උස්මාන් කවාජා ලකුණු 13කට දැවී ගියේ ජස්ප්‍රිට් බුම්රාගේ පන්දුවක් හමුවේයි.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ අංක 7 පිතිකරු වූ නිටිෂ් කුමාර් රෙදී. ඔහු ලකුණු 42 ක් රැස් කළා.

තරගයේ පළමු පන්දුවෙන්ම යශස්වි ජයිස්වාල් දවා ගැනීමට මිචෙල් ස්ටක් සමත් වූ අතර, පසුව දෙවැනි කඩුල්ල සදහා කේ එල් රාහුල් හා ෂුබ්මන් ගිල් ලකුණු 69 (113) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

රාහුල් එක් අවස්ථාවක ස්කොට් බෝලන්ඩ් යොමු කළ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩකයා අතට උඩ පන්දුවක් ලබා දී දැවී ගිය අයෙකු ලෙස විනිසුරු විසින් නම් කළ නමුත්, එම පන්දුව නිපන්දුවක් වීම නිසා රාහුල්ට තවදුරටත් පිටියේ රැදී සිටීමට වාසනාව උදා වුණා. කෙසේවෙතත්, පුනරූපන නැරඹීමේදී එම අවස්ථාවේදී පන්දුව පිත්තේ වැදුණු ආකාරයක් Snicko තාක්ෂණය ඔස්සේ දක්නට ලැබුණේ නැහැ. නමුත්, රාහුල් අදාළ පන්දුව පිත්තේ වැදුණු බවට පිළිගනිමින් පිටියෙන් ඉවත්ව යාමට සූදානම්ව සිටි පසුබිමකයි එය නිපන්දුවක් ලෙස සංඥා කෙරුණේ.

එම පන්දුවාරයේදීම රාහුල් ස්ලිප්හි පන්දු රකිමින් සිටි උස්මාන් කවාජා අතට උඩ පන්දුවක් ලබා දුන් නමුත් එය රැක ගැනීමට ඔහුට හැකි වූයේ නැහැ. කෙසේ වෙතත්, රාහුල් ලකුණු 37 කටත්, ගිල් ලකුණු 31 කටත් දැවී ගියා. විරාත් කෝලි ලබා ගත්තේ ලකුණු 7ක් පමණයි. රිෂාබ් පාන්ට් ලකුණු 21 යි. අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසි නායක රෝහිත් ෂර්මා ලකුණු 3 කට දැවී ගියා. රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 22 යි.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් ලකුණු 48 කට කඩුලු හයක් දවා ගනිමින් ඉන්දීය ඉනිම සුනුවිසුණු කළා. එය ස්ටක් සිය ටෙස්ට් දිවියේ ඉනිමක ප්‍රදර්ශනය කළ හොදම පන්දු යැවීමයි. පැට් කමින්ස් හා ස්කොට් බෝලන්ඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...