පර්ත් ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට ලකුණු 295 ක සුපිරි ජයක්

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරග 5 කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 295 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට ප්‍රබල ආරම්භයක් ලබා ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද(25) සමත් වුණා. මෙය ආසියාවෙන් පිටතදී ඉන්දියාව ටෙස්ට් තරගයක් ජය ගත් දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි වාර්තා අතරට එක් වුණේ.

පර්ත්හි පැවැති තරගයේ සිව්වැනි දිනය වූ අද දිනයට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 534 ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 3 ක් දැවී ලකුණු 12 ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 238 ක් පමණයි.

මුල්පෙල පිතිකරුවන් අසාර්ථක වූ පසුබිමක ට්‍රැවිස් හෙඩ් ලකුණු 89 ක්, මිචෙල් මාෂ් ලකුණු 47 ක් හා ඇලෙක්ස් කෙරී ලකුණු 36 ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියාව ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණා.

ආරම්භක පිතිකරු නේදන් මැක්ස්වීනි ලකුණු නොලබාත්, පැට් කමින්ස් ලකුණු 2කටත්, මර්නස් ලබුෂේන් ලකුණු 3කටත් ඊයේ දැවී ගියා. අද දිනයේ පළමු කඩුල්ල ලෙස උස්මාන් කවාජා දැවී ගියේ ලකුණු 4 ක් ලබා සිටියදීයි. ස්ටීවන් ස්මිත් ලකුණු 17යි.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා හා මොහමඩ් සිරාජ් කඩුලු 3 බැගින් බිද හෙලූ අතර, වොෂින්ටන් සුන්දර් කඩුලු 2 ක් දවා ගත්තා. බුම්රා පළමු ඉනිමේදී බිද හෙලූ කඩුලු ගණන 5 ක්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 150 ක් රැස් කළා. පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව ලබා ගත්තේ ලකුණු 104 ක් පමණයි. ඉන්දියාව සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට පියවර ගත්තේ කඩුලු 6 ක් දැවී ලකුණු 487 ක් ලබා සිටියදීයි.

යශස්වි ජයිස්වාල් ලකුණු 161 ක් හා විරාත් කෝලි නොදැවී ලකුණු 100 ක් ලබා ගනිමින් ඉන්දීය දෙවැනි ඉනිම ශක්තිමත් කළා. කේ එල් රාහුල් ලකුණු 77 යි. රාහුල් හා ජයිස්වාල් පළමු කඩුල්ලට ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 201 ක්.

ඉන්දියාව මෙම තරගයට ක්‍රීඩා කළේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා (පෞද්ගලික හේතුවක් මත) නොමැතිව ජස්ප්‍රිට් බුම්රාගේ නායකත්වයෙන් වන අතර, ෂුබ්මන් ගිල්ට ද ආබාධයක් හේතුවෙන් පළමු තරගය අහිමි වුණා. ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නිරතුරුවම දැකිය හැකි ආර් අශ්වින් හෝ රවීන්ද්‍ර ජඩේජාට ද කණ්ඩායමේ ස්ථානයක් හිමිව තිබුණේ නැහැ.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ලබන 6 වැනිදා ඇඩිලේඩ්හීදී දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...