කඩුලු 9ක ජයකින් කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාව පළමු වරට T20I තරගාවලියක් ජය ගනියි

Date:

කුසල් ජනිත් පෙරේරා හා කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ඨ අර්ධ ශතක හමුවේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 9ක ජයක් වාර්තා කරමින් තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(17) සමත් වුණා.

මෙය කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි 20 ද්විපාර්ශ්වික තරගාවලියක් ජය ගත් පළමු අවස්ථාව වීම විශේෂත්වයක්.

දඹුල්ලේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 8 ක් දැවී ලකුණු 162 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 18 ක් අවසානයේ කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා. (166/1)

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් පන්දු 32 කින් ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 60 ක්. පැතුම් ලකුණු 39(22) කට දැවී යාමත් සමග එම සම්බන්ධතාවය බිද වැටුණා. ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 7ක් ඇතුළත්.

අනතුරුව දෙවැනි කඩුල්ල සදහා කුසල් මෙන්ඩිස් සමග පිටියේ එක් වූ කුසල් පෙරේරා ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 106* (76) ක්. මෙන්ඩිස් පන්දු 50 කින් නොදැවී ලකුණු 68 ක් රැස් කළේ හයේ පහර 3ක් හා හතරේ පහර 5 ක් සමගින්. කුසල් පෙරේරා නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 55(36) ක්. හතරේ පහර 7ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් ඉනිමේ කඩුලු 5 ක් පන්දුවාර 11.1 ක් අවසානයේ දී ලකුණු 62 ක් තුළ බිද වැටුණා. කෙසේ වෙතත්, 6 වැනි කඩුල්ල සදහා නායක රොව්මන් පවෙල් හා ගුඩකේෂ් මෝති ලකුණු 54 (26) ක වේගවත් සම්බන්ධතාවයක් ගොඩ නගමින් කොදෙව්වන් සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා. ඔවුන් අවසන් පන්දුවාර 8 තුළ දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 94 ක්.

පවෙල් ලකුණු 37(27) ක් ද, මෝති ලකුණු 32(15) ක් ද රැස් කළා. රොමාරියෝ ෂෙපර්ඩ් ලකුණු 18(13) ක් ලබා ගනිමින් පසුපෙල ශක්තිමත් කළා. බ්‍රෙන්ඩන් කිංග් ලකුණු 23 ක් හා ශේයි හෝප් ලකුණු 18 ක් ලබා ගනිමින් මුල්පෙලට යම් ශක්තියක් එක් කළ නමුත්, එය ඉනිම ස්ථාවර කිරීමට තරම් ප්‍රමාණවත් වූයේ නැහැ.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ පන්දුවාර 3 ක් යොමු කරමින් ලකුණු 19 කට කඩුලු 2 ක් දවා ගත් අතර, වනිදු හසරංග ලකුණු 24 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

අවසන් තරගයේ වීරයා ලෙස කුසල් මෙන්ඩිස් ද, තරගාවලියේ වීරයා ලෙස පැතුම් නිස්සංක ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...