ලුවිස්-කිංග් ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකාව පරදියි

Date:

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු පහක ජයක් වාර්තා කරමින් තරග 3කින් යුත් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද(13) සමත් වුණා.

රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේ පැවැති තරගය වර්ෂාව හේතුවෙන් මිනිත්තු 30 ක කාලයක් ප්‍රමාද වී ආරම්භ වූ අතර, කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 7 ක් දැවී ලකුණු 179 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 අවසන් කළා.

එය සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් ලෙස දක්නට ලැබුණ ද කොදෙව් ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ බ්‍රෙන්ඩන් කිංග් හා එවින් ලුවිස් පන්දුවාර 9.1 ක් තුළ පළමු කඩුල්ලට ගොඩ නැගූ ලකුණු 107 ක වේගවත් සම්බන්ධතාවය හමුවේ ශ්‍රී ලංකාවෙන් ජයග්‍රහනයේ බලාපොරොත්තු දුරස් වුණා.

පවර්ප්ලේ අවස්ථාවේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළ කිංග් හා ලුවිස් පන්දුවාර 6 අවසන් කළේ ලකුණු 74 ක් ලබා ගනිමින්.

කිංග් පන්දු 33 කින් ලකුණු 63 ක් රැස් කළේ හයේ පහරක් හා හතරේ පහර 11 ක් සමගින්. ලුවිස් පන්දු 28 ක් පමණක් වැය කරමින් ලකුණු 50 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 5 ක් ඇතුළත්.

ෂේයි හෝප් ලකුණු 7කට දැවී ගිය අතර, රොස්ටන් චේස් ලකුණු 19 යි. රොව්මන් පවෙල් ලකුණු 13 කට දැවී ගියා. ශෙර්ෆේන් රදර්ෆර්ඩ් නොදැවී ලකුණු 14 ක් ලබා ගනිමින් කොදෙව්වන්ට ජය තහවුරු කර දුන්නා.

පන්දු යැවීමේ දී මතීෂ පතිරණ ලකුණු 27 කට කඩුලු 2 ක් දවා ගත් අතර, මහීෂ් තීක්ෂණ, වනිදු හසරංග හා කමිදු මෙන්ඩිස් කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කළ පැතුම් නිස්සංක ලකුණු 11 කටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 19 කටත් දැවී ගියා. කුසල් පෙරේරා ලකුණු 6 යි.

සිව්වැනි කඩුල්ල සදහා කමිදු මෙන්ඩිස් හා චරිත් අසලංක ලකුණු 82 (52) ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකාවට සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා ගමන් කිරීමට පදනම සකස් කළා.

අසලංක පන්දු 35 කින් හතරේ පහර 9 ක් සමග ලකුණු 59 ක් රැස් කළ අතර, කමිදු ලකුණු 51 කට දැවී ගියා. පන්දු 40 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 5 ක් ඇතුළත්. කලකට පසු ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණි භානුක රාජපක්ෂ ලකුණු 17 යි.

පන්දු යැවීමේ දී රොමාරියෝ ෂෙපර්ඩ් ලකුණු 39 කට කඩුලු දෙකක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...