ජෝන්ස්-චේස්ගේ අනපේක්ෂිත ප්‍රහාරය කිංග්ස් කණ්ඩායමට පළමු CPL ශූරතාවය හිමි කර දෙයි

Date:

2024 කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායම මෙරට වේලාවෙන් අද(7) පෙරවරුවේ සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායම පරදා කඩුලු හයක ජයක් වාර්තා කරමින්.

ගයානාහි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කිංග්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් වොරියර්ස් පිල නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 8ක් දැවී ලකුණු 138 ක් ලබා ගනිමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කිංග්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 11 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා. ඒ, කිංග්ස් කණ්ඩායම පන්දුවාර 9.5 ක් අවසානයේ දී කඩුලු 4 ක් දැවී ලකුණු 51 ක් ලබා අසීරු තත්ත්වයක රැදී සිටි පසුබිමකයි. පවර්ප්ලේ අවස්ථාවෙන් පසු 16 වැනි පන්දුවාරයේ ආරම්භය දක්වාම ඔවුන් කිසිදු හතරේ පහරක් හෝ හයේ පහරක් එල්ල කිරීමට සමත්ව සිටියේ නැහැ.

ඒ අනුව අවසන් පන්දු 30ට කිංග්ස් කණ්ඩායමට ජයග්‍රහනය සදහා අවශ්‍ය වූ ලකුණු සංඛ්‍යාව 66 ක්. කෙසේ වෙතත්, 16 වැනි පන්දුවාරයේ සිට ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූ ආරෝන් ජෝන්ස් හා රොස්ටන් චේස් සිය කණ්ඩායමට පළමු වරට CPL ශූරතාවයක් දිනා දීමට සමත් වුණා.

ජෝන්ස් 15 වැනි පන්දුවාරය අවසන් වන විට පන්දු 19 කට මුහුණ දී ලබා ගෙන තිබුණේ ලකුණු 10 ක් පමණයි. කෙසේ වෙතත්, ඔහු අවසන් පන්දු 12 ට ලකුණු 38 ක් ලබා ගනිමින් නොදැවී ලකුණු 48 (31) ක් වාර්තා කිරීමට සමත් වීම විශේෂත්වයක්.

16 වැනි පන්දුවාරය ආරම්භ වන විට පන්දු 15 කින් ලකුණු 14 ක් ලබා සිටි රොස්ටන් චේස් නොදැවී ලකුණු 39(පන්දු 22) ක් ලබා ගනිමින් ජෝන්ස්ට අනගි සහායක් ලබා දුන්නා. ඔවුන් දෙදෙනා අතර 5 වැනි කඩුල්ලට ගොඩ නැගුණු නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 88 (50) ක්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් වොරියර්ස් පිල වෙනුවෙන් ඩ්වේයන් ප්‍රෙටෝරියස් ලකුණු 25 ක් රැස් කළ අතර, ශේයි හෝප් ලකුණු 22 කට දැවී ගියා. පන්දු යැවීමේ දී නූර් අහ්මඩ් කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 19 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...